Tuesday, October 30, 2018

අයිස්ක්‍රීම්



"මාමේ අයිස් කෝන් එකක් කීයද ?"

" ලොකු එක දායයි පොඩි එකක් පායි"

"ලොකු එකට හැදි කීයක් දානවද ?"

" දාන්න පුලුවන් ගාන තමයි ලමයෝ දාන්නේ අයිස් ගොට්ටට අල්ලන ගාන දානවා"

අවුරුදු විස්සකට කලින් අපේ ගම් පලාතේ ළමයින්ට වැඩිහිටියන්ට අයිස්ක්‍රීම් කියන්නෙ සුඛෝපභෝගී කෑමක්.කොටින්ම සතියකට පාරක් " පෝංං පොප් " නලාව ගහගෙන බයිසිකලේ පිටිපස්සේ ෆෝම් පෙට්ටියක් අස්සේ අයිස්ක්‍රීම් දාගෙන ඉස්සරහා කූඩේ අයිස් කෝන් දාගෙන ගමක් ගානේ එන "අයිස්ක්‍රීම් කාරයා" ඒ කාලේ ලමයින්ට තරුණ වැඩිහිටි අයට ඇසට ප්‍රිය උපදවන දසුනක්. "අයිස්ක්‍රීම් කාරයා" කිව්වෙ හිත පුරා තිබුන ලෙංගතු හැගීමකින් මිසක් කවදාවත් පහත් කරලා කතා කරන අදහසකින් නෙමෙයි. ඒත් අපේ කිරි අම්මා නම් නලාවේ සද්දේ ඇහෙනකොට බනින්න ගන්නවා

"ඕන්න අදත් එනවා පොඩි උන්ට හෙම්බිරිස්සාව හදවන්න..... අම්මපා... කන්න එපා යකුනේ ඔය දහජරාව..."

"ළමයින්ගේ ආසාවනේ අම්මේ කියලා අපේ පැත්තට කතා කරන අම්මා පුංචි අම්මලාත් අපේ පහනෙන් එලිය බලල අයිස්ක්‍රීම් කෝන් එකක් අරන් ඕපදූපයක් කියෝගෙන හෙමීට කනවා( තරුණ කාලෙට ආපහු හිතින් යනවා කියලයි මට හැමදාම හිතුනේ)... හැබයි ඒ කාලේ පොඩි සල්ලි අතුරුදහන් කිරීමේ සුවිශේෂ හැකියාවක් තිබුනා අපට.

ඊලගට මාසෙකට වතාවක් ඩග ඩග ඩග සද්දෙට ටියුබ් ලයිට් හතරවටේට හයි කරපු අයිස්ක්‍රීම් ලොරිය. "වුඩ්ලන්ඩ්ස්" "ඇලරික්ස්" "එලිෆන්ට් හවුස්" නම් රටා රූප පිංතාරු කරපු අයිස්ක්‍රීම් ලොරියේ පිටිපස්සෙ ඉන්න මනුස්සයා නම් කවදාවත් හිනා නොවුන, අයිස්ක්‍රීම් කන පොඩි ලමයි එක්ක තරහකින් හිටිය කෙනෙක් කියලා මට හොදට මතකයි. ඔය අස්සට තොරණ් පොලට, හවුස් මීට් එකට, පෙරහැර බලන්න ගියාම අයිස්ක්‍රීම් කෑමේ භාග්‍ය උදා වෙනවා...

මුලින්ම තියන දෙබස ඇතිඋනේ මං සරුංගෝල අරින්න ගිහින් ඒක ගහක පටලගෙන ආපහු එන ගමනදී , ගෙදර සහ අපි සරුංගෝල යවන්න යන කුඹුර අතර පාලු ගුරු පාරේදී. වෙන කවුරුවත් හිටියේ නෑ වටපිටාවේ.

" මට දහයේ එකක් දෙන්න"

අයිස්ක්‍රීම් මාමා බයිසිකලෙන් බහින්නේ නැතුව එක කකුලක් බිමින් තියාගෙන, පස්සට හැරිලා සෘජුෆෝම් පෙට්ටියේ පියන ඇරලා අමුතු හැන්දෙන්නෙ ලොකූ කෝන් එකට " ක්ලප්" "ක්ලප්" සද්දෙට හැදි තුනක් දාලා මට කෝන් එක දුන්නා.

කෝන් එක අතට ගත්ත පමාවට එතනින් පහලට තිබුන හබරල ගාල අස්සට පැනලා ගග අයිනට එන්න මට ගියේ තවත් තත්පට පහක් විතර. මගේ අතේ සතයක් සල්ලි තිබුනේ නෑ ලොක්කා වගේ අයිස්ක්‍රීම් ඉල්ලුවට.

"ඔහෙ හිටු මූසල කොල්ලා "වගේ එකකුත් ලාවට ඇහුණා, ඒ මනුස්සයා ට බැහලා පස්සෙන් එලවන්නත් බෑ. කොහොමින් හරි සේරම මග ඇරලා ගෙදරට ඇවිල්ලා ඉන්නකොට හවස ගෙදර ආපු තාත්තා කීව දෙයින් මන් උඩගියා.

"ආ අර අයිස්ක්‍රීම් එකේ සල්ලි දුන්නා ඒ මනුස්සයා ට මම., අදට කමක් නෑ මීට පස්සේ පුරුද්දකට ඔහොම කරන්න එපා හරිද ?"

"හෑ හා තාත්තේ." ගොත ගහලා යන්තම් උත්තරේ දීලා ඒ කතාව එතනින් ඉවර උනාට

වැරදි වැඩක් කරපු ළමයෙක් ව එක විනාඩියකින් මුලු ජීවිතේටම අමතක නොවන පාඩමක් උගන්නලා , ඒ වරද කිසිම දාක නොකරන්නට පාඩමක් උගනන්න ඉස්කෝලේ නොගිය ලියන්න කියවන්න දන්නෙ නැති "අයිස්ක්‍රීම් කාරයෙක්ට" ගිහින් තිබුනේ වචන බොහොම පොඩ්ඩයි

" මහත්තයා ... පුතා ආසාවෙන් අයිස්ක්‍රීම් එකක් ඉල්ලුවා සල්ලි තිබුනේ නෑ අතේ.... මන් එකක් දුන්නා ඉතිං"

අද සමාජයේ ස්‍යිකොලොජි, මානව උපදේශනය, පෞරුෂත්ව වර්ධනය , කවුන්සිලින් වගේ බෝඩ් ලෑලී පිටිපස්සේ ඉන්න පුස්සන්ට වඩා අයිස්ක්‍රීම් කාරයාගේ සමාජ දැක්ම අදටත් මට පුදුමයක්.

සමාජයට වෛර කරන සියලුම මිනිසුන් බිහිවන්නේ සහ බිහි කිරීමේ පදනම ඊට අවැසි අනුබලය සපයන්නා වන්නේද අප ජීවත් වන සමාජයම වේ.

එවන් අයිස්ක්‍රීම් කාරයන් වැඩි වැඩියෙන් උවමනා කර තිබෙන කාලය පැමිණ ඇත.

No comments:

Post a Comment