Thursday, August 1, 2019

දත් ගැලවීම

දත් ගැලවීම
අපේ පැත්තේ දන්ත වෛද්‍යවරුන් හරි හිඟයි ඒ කාලේ. ඉන්න සේරමත් ඉන්නෙ සති අන්තේ. ඔහොම කාලෙක එක බුරහස්පතින්දාවක මට දත් කැක්කුමක් හැදුනා.
කරාබු නැටි හැපුවා, කුරුඳු කෑවා, සිද්ධාලේප ගෑවා, අම්මා ඒ අස්සෙ පුලුං කෑල්ලක පොඟවලා ඇක්ස් ඔයිල් ටිකක් දුන්න ඒකත් කට අස්සෙන් තියා ගත්තා.. ම්හූ... ඉවසන්නම බෑ... කුස්සියේ තියන සේරම තුනපහ මාදුරු සූදුරු ජාති කෑවා,ගොරකා විතරයි නොකෑවේ, පරිප්පු පොඩ්ඩකුයි කිරි ටිකකුයි කටට දාගත්ත නං ශෝක් පරිප්පුවක් හදාගන්න ගානට. ඒ මදිවට එක එක එව්වා කටේ ගාලා නිකං මඤ්ඤං වගේ කට අස්ස.
ඔය අස්සෙ තාත්තා ගෙදර ආවා... විස්තරේ අහලා ආපහු හන්දියට ගිහින් පෙත්තක් ගෙනත් දුන්නා.
බෲෆන්... අම්මේ ඒ වෙලාවේ උහුලපු වේදනාවේ හැටියට ඒක දිව්‍ය ඖසදයක් වගේ. ඉතිං පහුවදා මං මුලින්ම ගියේ කහවත්ත ටවුමේ දත් දොස්තර මහත්තයා ලඟට.
පරණ බිල්ඩිමක උඩු මහලේ , ගියාම , ඒක බලන්නම වටින බෙහෙත් සාප්පුවක්. ඒකේ මැසින් තිබ්බේ කකුලෙන් පාඟන එව්වා. පුටුව උස්සන්න බෑ. මගේ හිතේ වස්කෝද ගාමගේ දත් සුද්ද කරපු මැසිම ද කොහෙද ඒක. කොහොම උනත් බස් කොන්දොස්තර කෙනෙක්ට හරි කියලා දත ගලවගන්නවාමයි කියන ඒකායන පරමාර්ථයෙන් උන්න මට ඒක අඳාල උනේ නෑ.
ලෙඩ්ඩු නැති වෙලාවට දොස්තර මහත්තයා මැනික් ගල් කපන මැසිමක් තියන් ගල් කපනවා..ඉතිං දත් ගලවන එක කජ්ජක් ද
ඔන්න මහත්තයා දත් පරීක්ෂා කරලා මෙහෙම කිව්වා.
"පුරවන්නත් පුලුවන් , ගලවන්නත් පුලුවන්."
"කීයක් යනවද සර්?"
"පුරවන්ඩ එක්දාස් පන්සීයක් , ගලවන්න දාහයි"
ඒ කාලේ දතක් වගේ නෙමෙයි පන්සීයක් කියන්නෙ...මං එක හඬින් කිව්වා...අනික එක දතක් අඩු උනාට තව තිස් එකක් ම තියෙනවනේ.
"ගලවන්න ගලවන්න " කියලා මං කීව පාර ඔන්න ඉන්ජෙක්ශන් එක ගැහුවා විතරයි ලයිට් ගියා.
"මල කෙලියයි....ආයේ එන්නෙ හවස හතරට"
"දැන් කොහොමද සර් ගලවන්නෙ"
කට අස්සෙ කෙල පුරෝගෙන මං ඇහුවා.
කලුවරේ ගලවන්න බෑ.. පේන්නෙ නෑ... පොඩ්ඩක් ඉන්න මං කවුරු හරි ටෝච් එකක් එක්ක අඩඟහන් එන්නං කියලා මේකා එලියට ගියා..
මට හීන් දාඩිය දැන්මා... ටෝච් ගහන් දත් ගලවන්න ගිහින් වැරදි එකක් ගැලෙව්වොත්, නිකං බන්දු සමරසිංහ වගේ මැද දත නැතුව තමා ඉන්න වෙන්නෙ. මං දඩ බඩ ගාල එලියට පැනලා මාරු උනා.
ඊලඟට ඩෙන්ටල් එකක් තියෙන්නෙ රත්නපුර පොලි ක්ලිනික් එකේ. නැඟ්ගා බස් එකට. ඔන්න දැන් හිරි වැටිලා කට. ලේන්සුවෙන් කට වහන් මං ඉන්නවා ඔටුවා මැරිච්ච සුල්තාන් වගේ....
ටික දුරක් යද්දි කොන්දොස්තර අයියා ආවා ටිකට් කඩන්න....
ආ,ගන්න සල්ලි ගන්න පස්සෙන් සල්ලි ගන්න පස්සෙ සල්ලි ගන්න....කෝ....
"හහ්හපුලට හෙකක් හෙන්න?"
"කොහාටද ?????"
මාත් කට ඇරලා පුලුවන් ඩම් එක දාලා ආයෙත් කිව්වා
"හහ්හපුලට හෙකක් හෙන්න "
කියන්න සංතෝසයි ඉස්සරහා සීට් එකේ උන්න නංඟි කෙනෙක් ගේ ඔලුවේ කෙල එකයි....
" ඉඳා... මේ මොන සමයමක්ද.... කෙලත් ඇඟපුරාම ඊයා "
කියාගෙන නංඟී වෙන සීට් එකකට ගියේ හිරි වැටෙන්න ගහපු ඉන්ජෙක්ශන් එකේ හිරිඔතප් බිඳින ගමන්...
ඒත් මං නිදහස කාරණා කිව්වා
"හකක් හලවන්න හෙහෙක් හිඳලා "
තමුසේ බාබුල් කාලද ඕයී ? කව්ද නොසණ්ඩාල බමුණෙක් එහෙම අහනවා ඒ අස්සේ....මාත් මී හරකා වගේ අහන හැමඑකටම උත්තර දෙන්න යනවා...
"හාහුල් හෑවේ හෑ හෝයී...හතක් හලවන්න හෙහෙත් හිද්ද , හයිට් හියා "
මට කිව්වේ බාබුල් කෑවේ නෑ ඕයී, දතක් ගලවන්න බේත් විද්ද ,ලයිට් ගියා කියලා උනාට ඒක පිටවුනේ ඉහත ආකාරයට. ඌ මූණ හපුටු කරන් අහක බලා ගත්තා..
බස් එක පැල්මඩුල්ලට ලං වෙද්දි මට හිතුනා මේ විදියට රත්නපුරට ගියොත් ගුටි කාලා මැරෙන්න වෙන්නෙ අන්තිමට
කන්නත් නෑ බොන්නත් නෑ හුස්ම ගන්නත් නෑ වගේ කරගන්නෙ මොටද කියලා මඟින් බැහැලා ගෙදර ගියා. මඟදි ඕං අපේ බාප්පා එනවා ඉස්සරහට... මොකද්දි එකකට මල පැනලා
"ගැලෙව්වද දත.... කොහෙන්ද ගැලෙව්වේ?""
"හැලෙව්වෙ හෑ...හයිට් හියා , හස්සෙ හලෝනවා"
මං කිව්වා. ටිකක් වෙලා මූන දිහා බලන් ඉදලා බාප්පා මට මෙහම කිව්වා
" මොන රෙද්දක් කියවනවඩ්ජ මන්දා....හා හා හොල හොල ගාන්නෙ නැතුව ගිහින් බුදිය ගන්නවා.... "
අන්තිමේ පහුවදා රත්නපුරට ගිහින් දත ගැලෙව්වා.
කුෂාන් ප්‍රේමසිරි
13/07/2019

-පෝලිම-

-පෝලිම-
බැංකුවේ කවුන්ටරේ ඉස්සරහ පිට දිග පෝලිම.සඳුද දිනයක් නිසා සෑහෙන්න සෙනග. සල්ලි දාන මැශින් එක ඉස්සරහා ඊට වඩා පෝලිම. ආරක්ෂක නිලධාරින් ආරක්ෂාව බල්ලට දාල එතන මිනිසුන්ට මැසිමෙන් සල්ලි දාන්න උදව් කරනවා.
" මුන්ට තව දෙන්නෙක් කවුන්ටර් වලට දාන්න බෑනේ අම්මපා"
මට ඉස්සරහා සුදු යකඩ කිලෝ දෙකක් විතර පොරවන් ඉන්න මනුස්සයා මගෙ දිහාට හැරිලා නියවනවා.
"ඒක ඇත්ත, රස්තියාදුව විතරයි"
මිනිහට මම අකමැති උනත් හිටගෙන පෝලිමේ ඉන්න එක ගැන අප්‍රසාදය මං පල කරනවා. මිනිහා දිරිමත් වෙනවා.
"රජයේ බැංකු ඔහොමමයි.... "
මිනිහා ආයෙම කියනවා.ඇහුණේ නැති ගානට මම ෆෝන් එක අතට අරන් ඔබන්න පටන් ගන්නවා. ඒ අතරේ අතදරුවෙක් වඩා ගත්ත අම්මා කෙනෙක් පෝලිමේ පිටිපස්සෙ හිටගෙන ඉන්නවා දැක්ක කැශියර් නෝනා අත වනලා එයාට කතා කරනවා. ලමයත් එක්ක එයා කවුන්ටරේ ලඟට යද්දි එයාගේ යාලුවත් බැංකු පොත උස්සන් අනුන්ගේ පානෙන් එලිය බලනවා...
මිනිස්සු සේරම මූණ හපුටු කරන් තමන්ගේ නොකැමැත්ත පෙන්නනවා. ඒ අස්සෙ කවුන්ටරේ ඉන්න තරුණයගේ දුරකථනයට ඇමතුමක් එනවා
" 2016 සුසුකි... වැගන් ආර්. ෆුල් ඔප්ශන්. කිලෝමීටර් තිස් දාහයි. පර්ල් වයිට්... නෑ නෑ පර්ල් වයිට්. ඔව් ඔව් ...ටූ පොයින්ට් එයිට් මිලියන්. එනවා,නං කියන්න අද වාහනේ ආවේ මම බැංකුව ලඟදී බලන්න පුලුවන්"
ඇමතුම විසන්ධි කරලා කොලුවා චෙක් එකක් මුදල් කරනවා...
"මෙතන අත්සන් කරලා අයිඩී නම්බර් එකයි , ෆොන් නම්බර් එකයි ඩේට් එකයි ලියන්න.... මෙතනත් අත්සන් කරන්න"
චෙක් එක දුන්න මනුස්සයා බයාදු විදියට
"සර් පෑනක් පොඩ්ඩක් දෙනවද?"
තරුණ නිලධාරියා පෑන දික් කරනවා.
අපි බැංකුව විශ්වාස කරලා කෝටි ගණන් සබ්බ සකලමනාව සේසතම දැන්මට බැංකුවට අපිව සත පහකට විශ්වාස නෑ...ඒ නිසා එයාල රුපියල් දහයේ පෑනටත් නූලක් දාලා ගැටගහලා තියනවා.
මං බැංකුවේ බිත්තියක එල්ලලා තියන රූපවාහිනී තිරය දිහා බලන් ඉන්නවා.මුවෝ රංචුවක් පස්සෙන් පන්නන කොටි දෙන්නෙක් අහිංසක මුවෙක් කොටු කරන් ඌව මරන්න එලවන හැටි ටීවී එකේ පෙන්නනවා. බඩ මහත් මුදලාලි කෙනෙක් පන්දාහෙ කොල මිටි විස්සක් විතර අරන් බැංකුව ඇතුලට ඇවිල්ලා හිටගෙන බැංකුව සිසාරා බැල්මක් හෙලනවා. මං ආයෙමත් රූපවාහිනිය දිහා බලනවා.
මුවා පණ අදිනගමන් තමන්ගේ හුස්ම පොද රැකගන්න සටන් කරනවා. ඒ එක්කම මැනේජර් මහත්තයා දුවගෙන ඇවිල්ලා මුදලාලි ව තමන්ගේ වීදුරු කාමරේට එක්කන් යනවා. දෙන්නගේ ඔලුගෙඩි දෙක විතරක් පේනවා. ඒ එක්කම බැංකුවේ අනික් කෙලවරේ ඉන්න දෙවනි මහත්තයගේ මේසෙ උස දුරකථනය බෙරිහන් දෙන්න ගන්නවා.
"හරි සර්"
කියලා ඒ මහත්තයා රිසීවරේ තියන ගමන් පියන්ට අඬගහලා සල්ලි දාන කොලයක් මේසෙ යටින් ඇඳලා දීලා මොකද්ද කියනවා. පියන් මැනේජර් මහත්තයගේ කාමරේට ගිහින් විනාඩි කීපෙකින් සල්ලි මහ ගොඩක් අරන් කෙලින්ම කවුන්ටරේ ලඟට යනවා.
කවුන්ටරේ ඉන්න නෝනාට කේන්ති ගිහින් වගේ පෝලිමේ ඉන්න මිනිස්සු පෙන්නලා මොනවද කුටු කුටු ගානවා.
"මං දන්නෙ නෑ බොස් කිව්වෙ" කියාගෙන පියන් එතනට වෙලා හිටගෙන ඉන්නවා.
ක්‍රාස් ක්‍රාස් කෲස් ගාලා සල්ලි ගණන් කරන මැසිම එක දිගට වැඩ කරනව. ටීවී තිරයේ දැන් යන්නෙ මුවාගේ මස් කන කොටියන්ගේ සමීප දර්ශන පෙලක්. උන් බොහොම සංතෝසෙන් ලේ පෙරාගෙන මස් කනවා. පෝලිමේ ඉන්න මිනිස්සු සේරම ඒකට අවධානය නිසා කැශියර් නෝනත් මහ සල්ලි මිටි ටික විනාඩියට ගණන් කරලා ඉවර වෙලා ලාච්චුවට දාල කහපාට රිසිට් එක පියන්ට දෙනවා. මිනිහා ඒක,අරන් මැනේජර් ගේ කාමරේට දුවනවා.
මස් කාපු කොටි දෙන්නා ගහක් උඩට නැඟලා නිදාගන්න ලේස්ති වෙනවා. මැනේජර් ගේ කාමරෙන් එලියට ආපු බඩ තඩියා බැංකුවේ අනිත් අයට අත වනාගෙන පෝලිමේ සෙනඟ දැකලා පුදුමයෙන් වගේ බලලා
"අද හරියට සෙනඟ නේද ?" කියලා සිකුරිටිට කියාගෙන එලියට බැහලා වාහනේට නඟිනවා.
" අපිටත් සල්ලි මිටි තිබ්බා නං අපිත් පෝලිම් වල තපින්නෙ නෑ "
අර මනුස්සයා මං දිහාවට හැරිලා ආයෙමත් කියවනවා.
දුර්වලයා ,බලවන්තයාගේ සදාතනික ආහාරය වේ කියන කියමන මං දැක්කෙ කොතනදීද කියලා කල්පනා කරන ගමන් මං පෝලිමට වෙලා ඉන්නවා.
කුෂාන් ප්‍රේමසිරි
02/06/2019

අතීතකාමය

අතීතකාමය
එදත් අද වගේම වැස්ස දවසක්, අහම්බයකින් වගේ ඒත් ජූනි මාසේ, පාන්දර හතරට විතර මාව ඇහැරවපු අම්මා මූණ හෝදගන්න වතුර ටිකක් යකඩ පනිට්ටුවකට දාල දුන්න. ඒ කාලේ අපේ ගෙදරට වතුර තිබ්බෙ නෑ. හැමදාම කලගෙඩි පහක් , යකඩ පනිට්ටු පුරවලා තමයි අම්මා දවස අහවර කරන්නෙ. වතුර ගේන්න කරාමේ තිබ්බෙ කන්ද පාමුල මීටර් දෙසීයක් විතර ඈතින්.
උදේම ලෑස්ති වෙලා තේ බීලා තාත්තයි මායි කෑලි තුනේ ටෝච් එලියෙන් පාරට එනවා. එන අතරමඟ තියන කම්බි පාලමෙන් මට තනියම යන්න බැරි නිසා සරම කැහැපට ගහගන්න තාත්තා මාව වඩාගෙන පාලමෙන් එගොඩ වෙනවා. තාත්තා ගේ අතේ ඉන්න මට දිරච්චි ලෑලි අතරෙන් ගඟ යාන්තමට පේනවා. කම්බි පාලමක් කියන්නෙ ගඟ හරහට ලොකු යකඩ කම්බි ඇඳලා ඒකේ අඩි දෙකෙන් දෙකේ පරතරයට ලැලි හයි කරලා. අත්වාරුවට තියෙන්නෙත් කම්බි දෙකක්. පාලම හදල තියෙන්නෙ සුද්දා ගේ කාලේ.
පාලමෙන් එගොඩ වෙච්ච හැටියම මාව බිමින් තියන තාත්තා අපි දෙන්නගෙම කකුල් වලට ටෝච් එක අල්ලලා කූඩැල්ලෝ එල්ලිලාදා කියල බලනවා. ඩහ් ඩහ් කියලා කකුල් පොලවට ගහලා සේරම තහවුරු කරගෙන අපි දෙන්නා බස් එකක් එනකන් බලං ඉන්නවා. ඒ කාලේ තිබ්බෙ පාන්බාගේ රෝසා බස්. බස් එකට ගොඩ උන හැටියේ ඉඩ තිබ්බේ නැත්නම් තාත්තා මාව සීට් දෙකක් අස්සට රිංගවනවා.එක දවසක් එහෙම මාව යැව්වම ඒ සීට් එකේ උන්න ගෑනු මනුස්සයාට කේන්ති ගිහිල්ලා , රත්නපුරේ ට එනකන් මගේ ඇඟ කෙනිත්තුවා, කකුලත් පෑගුවා.
බස් එකෙන් බැහැපු හැටිය එක විනාඩියට අපි දුවගෙන එන්නෙ සමූපකාර ඉස්පිරිතාලෙට බේත් ගන්න තුණ්ඩුවක් ගන්න. නොම්බර ඇරන් අපි ඉඳගෙන ඉන්නවා. මං වටපිට බලනවා ඈනුම් අරිනවා. දොස්තර මහත්තයා ඇවිල්ලා ලෙඩ,බලල බේත් නියම කරලා අපි එලියට බහිද්දි උදේ හය හමාරට විතර ඇති, ඒ ලඟම තිබ්බ කඩේකින් උදේට බනිස් කාල තේ බොන අපි දෙන්නා පයින්ම එනවා බෝධිරාජාරාමෙට. ඒ කාලේ එතන පරණ ගැරෙජ් එකක් තිබුණා. තාත්තා අදුරන හාමුදුරුවෝ නමක් වැඩ උන්න නිසාම මාව එතන නවත්තලා තාත්තා යනවා ගල් විකුණන්න , මං පරණ කාර් දිහා බලාගෙන එව්වා අස්සට ඔලුවදාලා එඹිකම් කරනවා. මට තේ එහෙමත් හම්බවෙනවා පන්සලෙන්.
නිවිතිගල ට ගිහිපු තාත්තා ආපහු එන්නෙ එකොලහට දොලහට කිට්ටු කරලා. ආපහු අපි එන්න පිටත් වෙනවා. මුලින්ම ජයසිරි හෝටලේට, එදා සරු දවසක් නං මට ෆලූඩා එකක් හම්බවෙනවා. නැත්නම් රෝල්ස් එකක්‍ එක්ක තේකක්. තාත්තා නම් කවදාවත් කනවා මට මතක නෑ. මං කන එක දිහා හිනාවෙවී බලාගෙන ඉන්නවා.
තේ බීලා ආව ගමන් තාත්තා ඒ ලඟම තිබ්බ ලොකු සාප්පුවක දොර අයිනේ පඩිපෙල ලඟින් මට ඉන්න කියනවා...
"මං මාළුව කන්න දෙයක් ඇරං එන්නම්, ඔතනම ඉන්න ඕන. "
තාත්තා අඩියට දෙකට දුවනවා. මං වාහන මිනිස්සු දිහා ඔලුව කහකහ බලන් ඉන්නවා. හැමදාම අඳින රතුපාට ටී සර්ට් එක යට කරල ඇඳපු කොලපාට කොට කලිසමත්, කලු පාට පුංචි බාටා සෙරෙප්පු දෙකත් දාගෙන ඉන්න මගේ පෙනුම කොහොමත් ඇහට ප්‍රියමනාප එකක් නම් නෙමෙයි.
"ඔතනින් අහකට යනවා"
මං ගැස්සිලා පියවි ලෝකේට එනවා. කඩේ මුදලාලි අලුත්ම කාරෙකෙන් කඩේ දොරකොඩම බැහැලා , අලුත්ම සූට් එක, සුදු පාට සෙරෙප්පු දෙක, ලොකු මුද්දක් බ්‍රේස්ලට් එකක් දාපු මුදලාලි හරි තේජස් පාටයි.
"එහාට යනවා ....යනවා යනවා...එහාට "
මුදලාලි මට කෑගහනවා ,මං ඉබේම කඩේ සීමාවෙන් එහාට ගිහින් බුලත් විට විකුණනන පොඩි බාර් එකලඟ හිට ගන්නව. මං දිහා බලලා තොහ් ගාලා කෙල පාරකුත් ගහන මුදලාලි කඩේ අස්සට යනවා.
කඩේ වීදුරු රාක්කෙ තිබ්බ ඉලක්කම් වැටෙන ඔරලෝසු ගැන සිහියෙන් උන්න මට ඒක එච්චර ගාණක් නැතුව යනවා,
"කොහොම හරි ඔරලෝසුවක් ගන්න ඕන"
ඊට සුමානෙකට කලින් ගෙදර බිත්ති ඔරලෝසුවේ බැටරි කෑල්ල ගලවලා බල්ප් පත්තු කරන්න ගිහින් තාත්තා ගෙන් හොඳාටම ගුටි කාපු එක මතක් වෙලා මට එක පාරටම හිනා යනවා. ඒ එක්කම ආපු තාත්තා මගේ කණ මිරිකනවා.
"ඉන්න කිව්ව තැන නොයිද කොහෙ යනවද?"
මං විස්තරේ කියනවා
"බොරු නොකියා ඉන්නවා..ඒ මිනිස්සු එහෙම කරන්නෙ නෑ... තමුසේ එලියේ බඩු මුට්ටු අතගාන්න යන්න ඇති"
තාත්තා එහෙම කියනවා... තාත්තාත් මුදලාලිගේ පැත්තේ. මං මූණ එල්ලගෙනම ඉන්නවා ගෙදර එනකන්, ඒත් බස් එකට නැඟපු රටකජු වෙලෙන්දගෙන් රුපියල් පහක කජු, තාත්තා අරන් දෙන නිසා මං ආයෙම සංතෝසෙන් වටපිට බල බලා එනවා.. ගෙදර ඇවිල්ලා මං ඉසෙල්ලාම කරනේ චිත්‍ර පොතෙන් කොලයක් කඩාගෙන මං දැක්ක ඔරලෝසුව ඒකෙ ඇඳල බිත්තියේ අලවන එක.
ඊට පස්සෙ මං කොට බංකුව උඩ වාඩිවෙලා නිකන් ඉන්න හැම වෙලේකම ඒ ඔරලෝසුව දිහා බලන් ඉන්නවා. ඊටත් මාස දෙකකට විතර පස්සෙ ඒ කඩේ ලඟින් ආයෙමත් යද්දි මං තාත්තා ට ඒ ඔරලෝසුව පෙන්නනවා.
" අද අතේ සල්ලි නෑ මහත්තයා..."
(( තාත්තා මට පොඩි කාලේ ඉඳන් කතා කලේ මහත්තයා කියලා. අදටත් රට ඉඳ්දි මං කෝල් කලාම
"ආ....මහත්තයා .... අද නිවාඩුද වැඩද...." කියලා තමයි තාත්තා කතාව පටන් ගන්නෙ. ))
තව ටිකක් වෙලා අපි දෙන්නා ඒ වීදුරු රාක්කෙ අස්සෙ තියන ඔරලෝසු ගොඩ දිහා බලන් ඉන්නවා.
"අපි පස්සෙ එකක් ගමු ,දැන් යං"
එදා ඉඳන් අද වෙනකන් මං ඔරලෝසු බැඳලා තියෙන්නෙ ජීවිතේට එක පාරයි, ඒකත් කසාඳ බඳින දවසේ මාධී අරන් දුන්න ටයිටන් ඔරලෝසුව. ඒ සේරම අතීත මතක විදියට අමතක කරලා මං බී ඇම් විජේසිංහ පොත් සාප්පුව ලඟ වාහනේ නතර කරලා එදා ඒ කඩේටම ගොඩ වෙනවා.
"සර් මොනවද බැලුවේ ?"
වයසට ගිහින් තරුණ කම , තේජාන්විත කම සේරම අනිත්‍ය වේ කියලා තේරුම් ගත්ත ඒ මුදලාලිම මගෙන් බොහොම කරුණාවෙන් ගෞරවාන්විත විදියට අහනවා..
" මේ කඩේ අයිනේ තාත්තා එනකං බලන් උන්න පොඩි එකෙක් හිටිය දැක්කෙ නැද්ද ?"
යටි හිතෙන් එහෙම අහන ගමන් මං උවමනා බඩු ටික අරන් කඩෙන් එලියට බහිනවා.
" ඇම්ස්ටර්ඩෑම් බලා යන එයා ෆ්‍රාන්ස් මගීන් කරුණාකර දොරටු අංක දහ අට වෙත පියනඟන්න "
අතීතකාමය එක්ක සිතුවිලි සාගරේක ගිලිලා ඉන්න මට ඒ නිවේදනය ඇහෙන්නෙ ප්‍රංශ ඌරුවට ඉංග්‍රීසි කතා කරන කාන්තාවකගේ හඬින්. ගමන් මල්ලත් පිටේ එල්ලගෙන මම නොම්බර දහ අට හොයාගෙන ඉස්සරහට යනවා.
කුෂාන් ප්‍රේමසිරි
ප්‍රංශයේ චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපලේ සිට

ෆෘට් ජූස්

ෆෘට් ජූස්
මං ඉතිං ඔය කන බොන එව්වා කිරලා මැනලා කන මනුස්සයෙක් නෙමෙයි.බොහොම අමාරුවෙන් හාල් සේරු එක හමාරක බත් කන, පාන් රාත්තල දෙකට කපාගෙන හරි අමාරුවෙන් කන මනුස්සයා. කොටින්ම කෑම ගැන මං එච්චර හිතන්නෙ නෑ . යන්තං මසක් මාලුවක් එක්ක මාලුව ජාති හතරක් බිත්තරයක් තිබ්බම අනේ හොඳටම ඇති මට.
ඔන්න ඔයාකාරයට කටයුතු සිද්ද වේගෙන යද්දි මට හිතුනා පලතුරු යුෂ බොන්න. ඒ කියන්නෙ මේ ෆෘට් ජූස්. සරීරෙට හොඳයි නේ...ඒකයි
හැබයි ලංකාවේ නං ජූස්බාර් වල එක කොමඩු ගෙඩියයි ගස්ලබු ගෙඩියයි, දොඩං ගෙඩි පහයි තිබ්බා නං ගමක් ආවත් හදහදා දෙනවා. හරියට රත්ති වගේ.පාර අයිනේ විකුණන ඒවා ඇත්තටම හොඳයි මොකද ඇහැට පේන්න දොඩං හෙවත් සිදරං ගෙඩි දෙකක්ම දාලා පොඩි නාරං ගැටේකුත් දාන නිසා. ගාණත් සාධාරණයි.
ඔය නිසා මං ෆෘට් ජූස් හදන බ්ලෙන්ඩරයක් ගෙනාවා. උස ලොකු කෝප්පෙ තියන හුරුබුහුටි මැසිම. එමිං ගමන් අලිගැට පේර මල්ලක්, අයිස්ක්‍රීම් ලීටරයක් , කිතුල් පැණි බාගයක් එහෙම ගෙනල්ල බ්ලෙන්ඩ්රේට සේරම දාලා අයිස්ක්‍රීම් පැණිත් දාලා ඒකට වැඳලා නමෝ විත්තියෙන් සුවිච් එක දැම්මා.
මට එච්චරයි මතක.
සතුට වැඩිකමට මං සේරම දාල බ්ලෙන්ඩ්ර් එක ඔන් කරලා තිබ්බෙ උඩ පියන වහන්නෙ නැතුව.
කුස්සියේ සීලිමේ, බිත්තිවල ,සහ අනෙකුත් සෑම තැනම අලිගැට පේර අයිස්ක්‍රීම් මික්ස්චර් එකක් ස්ප්‍රේ කලා වගේ. හරිම කලාත්මකයි , ඒකාත්මිකයි.
හරියට කක්කුසි වලකට ඩයිනමයිට් දාල පිපිරෙව්වා වගේ.
සේරම බඩු මුට්ටු එලියට ඇදලා හෝදලා වේලලා වැඩේ පිලිවෙලයිස් කරන්න මට වරුවක් ගියා. ඒත් ඒ වහන්තරාව හරියට සුද්ද වෙන්නෙ නෑ , වෙලා යන්න යන්න නරක් වෙන නිසා පිළුණු ගඳ.
අන්තිමේ දවසක් ගෙදර නැවතිලා , පරණ තීන්ත බකට් එකක තිබ්බ තීන්ත ගාලා තමා ලෝකපාවාදයෙන් බේරුනේ.
තව කෙනෙක්ට ඕකම වෙලා තිබ්බා පොල් ටිකක් බ්ලෙන්ඩර් කරද්දි .මිනිහා ගේ දාලා ගියා
කුෂාන් ප්‍රේමසිරි
29/07/2019

Thursday, February 14, 2019

සූප්පුවා 2


"ඇයි බං අරූ අපිට එන්න කියලා තියෙන්න ?"
ඒ ප්‍රශ්නෙත් එක්ක ඔෆිස් කාමරේට රිංගපු අපිව පිලිගත්තේ කුලතුංග සර්. වෙනදට ඒ පිලිගැනීම් වෙන්නෙ මෙහෙමෙයි
"බෑ අයිසේ තමුසෙලා එක්ක මේක කරන්න...ආයතනයක විනයක් නීතියක් තියනවා"
එතනින් පටන් අරං සර් පේරාදෙණි කැම්පස් එකේ ඉගන ගත්ත කාලේ වෙනකන් කාලීන දර්ම දේශනාවක් අපිට අහන්න වෙනවා. ඒත් එදා තත්වේ වෙනස්
" ගායිස්....ප්ලීස් කම් ඉන් ...."
සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සර් ගේ මේසේ ඉස්සරහා හයේ හතරේ බොහොම ප්‍රතාපවත් වයස හැත්තෑවක් විතර වෙන මනුස්සයෙක් වාඩිවෙලා හිටිය. අපි , අපේ හචා ඇඳුම්.... බාල හම් සෙරෙප්පු, රැවුල් කොට දුංකොල ගඳ විනිවිඳ යනතාලේ බැල්මක් හෙලාපු මනුස්සයා නැගිටලා
" මම සූප්පුවා ගේ තාත්තා ... අහවලා වෙමි "
කිව්වා. අපි කට ඇරන් හෑ කියා ගෙන බලන් උන්න. මොකද ඔය ලොකු මිනිසුන්ට උදව් කරන්න ගියාම වෙන්නෙ උදව් කරාපු එකාට පොලිසි ගානේ රස්තියාදු වෙන වැඩ බවට අපි අත්දැකලා තිබුනා. ඒත් අපි ඌට අහවල් දෙයක් කලායෑ.... ගෙදරට ගිහින් ඇරලුවා විතරනේ...
මේ ළමයි එදා කරාපු උදව්වට ස්තූතියි කරන්ඩ මං මේ ආවේ.එහෙම කියාපු ඒ තාත්තා අපි එක එකාගේ අත් අරන් හෙලෙව්වා. ජීවිතේට අතට අත දීපු පලවෙනි පාරද කොහෙද.
ඒක සුලු දෙයක්. ඕක මොකද්ද..
අපි යමුද පොඩ්ඩක් පහලට. ඒ මහත්මයා අපිට කිව්වා. ඒ ගිය ගමන අපි දැන ගත්තේ සූප්පුවාගේ පවුල කියන්නෙ එසේ මෙසේ එකක් නෙමෙයි කාලෙක ලංකාවේ වැඩිම ඉඩං අයිතිය තිබ්බ ප්‍රසිද්ධ පවුල් අතලොස්සක් අතරින් එකක් කියලා. ඒ තට්ටුවේ තිබුනේ සූප්පුවාලගේ අපනයන අංශයේ ඔෆීසිය. බෝඩ් ලෑල්ලේ නම දැක්කම අපිට හීක් ගෑවුනා.
විස්වාස කරන්න අපහසු සූප්පුවා ගේ ජීවිතේ විස්වාසෙට ගන්න අමාරු තවත් කතාවක් එලියට ඇඳුනේ එතනදි. දරු ප්‍රසූතියෙදී මියගිය තමන්ගේ එකම දියණියගේ පුතාට අම්මයි තාත්තයි වෙලා තිබුනේ ආච්චියි සීයයි. අදටත් හැම අවුරුද්දකම එක දිනයක සන්ඩේ ඔබ්සර්වර් පත්තරේ පුරා පිටු දෙකක සූප්පුවාගේ අම්මා ගේ අනුස්මරණ දැන්වීම යනවා. "මෙනවිය" කියලා ඒ දැන්වීමේ තියන එකෙන්ම සූප්පුවා ගේ තාත්තා ගැන අදහසක් කියවන ඔබට ගන්න පුලුවන් මං හිතන්නෙ.
පරම්පරාවට නම්බුවට කීර්තියට කැලලක් වෙන නිසා කොලඹ හතේ එක්ටැම්ගෙයක උන්මාද චිත්‍රාවක් වෙච්ච සූප්පුවාගේ අම්මා අධ්මාත්‍රාවෙන් බෙහෙත් පෙති වගයක් බීලා සියදිවි හානි කරගන්න උත්සහා කරලා රෝහල් ගතකරද්දි සූප්පුවා මෙලෝ බලා ඇවිල්ලා තිබුනා
ජීවිතේ හැටි. ඒ කතාව අහන් උන්න අපට තිබුනේ ප්‍රශ්න දෙකයි....
ඇයි මේක අපට කිව්වේ ?
කෝ සූප්පුවා දැන් ?
ඊට දවස් තුනකට කලින් සූප්පුවා එංගලන්තය බලා කටුනායකින් නික්ම ගිහිල්ලා තිබුනේ ස්තීර පදිංචියටමයි. කොන්වෝල් ප්‍රාන්තයේ වතු පිටි ගෙවල් දොරවල් තිබුන නිසා ඒක ප්‍රශ්නයක් උනේ නෑලු. ඒ එක්කම සූප්පුවා ගේ අම්මා නොහොත් කිරි අම්මාත් ගිහින් තිබුනා. අපිට කතා කරපු සීයත් ඊලග සිකුරාදා මව්බිමෙන් නික්මයන බවක් කිව්වා. ඊට පස්සෙ සක්කුවෙන් සුදුපාට කවරයක් ඇදලා අපි දිහාට මේසෙ දිගේ තල්ලු කරපු මේ මනුස්සයා ඒකත් අරන් අපිට දැන් ගියාට කමක් නෑ කිව්වේ , අපි එක්ක කතා කරපු මනුස්සකම යටපත් කරාගෙන රදල මාන්නය ඉස්මතු වෙච්ච නිසා වෙන්න ඕන
ස්තූතියි කරපු ලියුමක් සූප්පුවා ගෙන් සහ රුපියල් දහදාහක චෙක් පතක් කවරේ අස්සෙ තිබුනා.
හරි නම් වෙන්න ඕන යාලුවගේ ස්තූතියි ලියමන හොටු පෙරාගෙන කියවලා අපි චෙක් එක ඉරලා විසි කරන එක. උනේ ඒකෙ අනික් පැත්ත. ලියුම විසි කරලා චෙක් එක අරන් හූ තියාගෙන බැංකුවට දුවපු එක.
එදා රෑ බෝඩිමේ හිටියා පණහක් විතර කොල්ලො. හැම එකාටම කෑම බීම බයිට් මගුල් ගෙයක් වගේ. උසස් තැන්වල යාලු මිත්තරයෝ ඉන්නවා කියන්නෙ මහජන සම්පත ඇඳුනා වගේ. සූප්පුවාගේ සල්ලි වලින් ඌ ගැන එක වචනයක් නොකියා වෙන හැම දෙයක් ගැනම කතා කරද්දි හතරැස් බෝතල් එක එක ඉවර උනා. සමහරු ඉංගිරිස් කතා කලා. ප්‍රංශ කතා කලා... සමහරු නැටුවා.තවත් උන් ඇඬුවා.... ඒ අස්සෙ තව උන් වමනේ කලා.. තව එවුන් පරණ කෙල්ලට කෝල් කලා...කෙල්ලන්ගේ ගෙවල් වල ලෑන්ඩ් ෆෝන් එකට කෝල් අරන් ආතල් ගත්තා ... ඒත් සූප්පුවා ...
කව්ද ඕයි සූප්පුවා කියන්නෙ.... ???
ඒ විදියට ජීවිතේ ගලාගෙන ගියා. රස්සාවල් පටන් ගත්තා... අපි පවුල් පන්සල් උනා. සමහරු ලංකාව දාලා ගියා.... ඉරණම්කාරී හොයාගෙන මාත් එංගලන්තය බලා නැව් නැංගා.
ඒත් ඒ කිසිම දවසක සූප්පුවා ගැන මතක් උනේම නෑ...ඒ ජිවිතේ රෙස්ටුරන්ට් වල කුස්සි අස්සෙ, ෆැක්ටරි වල කක්කුස්සි හෝදද්දී අම්බානකට කට්ට කද්දි එක දවසක අහම්බෙන් වගේ සුපිරි වෙලඳසැලක තිබ්බ මේ වගේ පෝස්ටරයක්
" සියයට සීයක් සුපිරිසිදු සිලෝන් ටී.... අහවල් පවුලේ සාඩම්බර නිෂ්පාදනයක්"
සූප්පුවා ආයෙමත් කරලියට ආවා. ලංකාවේ වගේ නෙමෙයි එංගලන්තයේදී මනුස්සයෙක් ගැන හොයන්න හරිම ලේසි. ඕන කරන්නෙ එහේ තැපැල් කන්තෝරුවක හිතවතෙක් විතරයි... නම ගහපුවම ඉන්න තැන සේරම පුක් ගාලා කොම්පීතරෙන් කියනවා. චෙස්ටර් පෝස්ට් එකේ උන්න හිමාෂි සූප්පුවාගේ විස්තරේ මට හොයලා දෙනවා. මං ඌට කතා කරනවා. හරියටම වසර හතරකට පස්සෙ මම , සුපුනා, සූප්පුවා එකට හම්බෙනවා.
ඇඟ පුරා පච්ච ගහපු , දිවේ ඇහිබැමේ නාස් පොල්ලෙ මුදු දාපු අපි දැකපු සූප්පුවා නෙමෙයි නිකන් පරණ කක්කුසි හෝදන බුරුසුවක් වගේ දිරාපු එකෙක් අපි ඉන්න තැනට ආව.
මේ මොන හාල් කෑදැත්තෙක්ද කියලා හිතුනා .අපි අතරමං වෙලා තිබුනට වඩා දහස් ගුණයක් වැඩියෙන් සූප්පුවා මේලෝකෙ අතරමං වෙලා. වීසා ඉවර වෙච්ච ලංකාවෙන් ගිහින් හිටපු කස්තිරම් සේරම අල්ලපු ගෑනු ලමිස්සියෙක් සූප්පුවාගේ බිරින්දෑ වෙලා. ඒ වෙද්දි උන් දෙන්නම අධික කොකේන් සහ ඇල්කොහොල් භාවිතයට යොමුවෙලා. අපි එක්ක කතා කරද්දිත් හුරුස් හුරුස් ගාල එක දහස් සැරයක් ඌ නාහෙ උඩට අදින්න ඇති. ඒ කොකේන් මත්ද්‍රව්‍ය නාසය තුලින් ඉරීමෙන් ඇතිවන තත්වයක්...අත්වල පච්ච වලට යටින් ඉන්ජෙක්ෂන් කටු පාරවල මහ ගොඩක්....
නුදකින් කාලකන්නි පර බල්ලා.... අපි ජීවිතේ හොයනවා... ජීවිතේ අතේ තියන් උපන්න උඹලා ඒකට පයින් ගහනවා...
අසීමාන්තික මාසික ආදායම නිසාම ඌ නාස්ති වෙන එක ඉක්මන් වෙලා තිබුනා. පැය ගාණක් මුහුද අයිනේ වාඩිවෙලා ඌ ඌට වෙච්ච සංතෑසිය අපි ඉස්සරහා වැමෑරුවා.
සූප්පුවා ගේ අම්මා ගැබිණියක් වෙලා තිබුන නගරයේම ඌ කුඩ්ඩෙක්වෙලා ඉබාගාතේ ඇවිද්දා.... අකාලයේ ඒ අම්මාට ජීවිතෙන් සමුගන්න කටයුතු සලස්වපු , එයාව අනාත කරපු ඒ මනුස්සයා එහෙමත් නැත්නම් සූප්පුවා ගේ තාත්තා , සූප්පුවාගේ ජීවිත කතාව සේරම ඌව හොයාගෙන ගිගින් වමාරලා තිබුනා. හොඳ විදියකට නෙමෙයි... ඌව දරුවෙක් විදියට හදාවඩා ගත්ත ආච්චි සීයගෙයි හිතේ ජන්මාන්තර වෛරයක් ඇතිවන විදියට.
ඒ පලිය ගන්න හිතුවක්කාර වෙච්ච සූප්පුවා නතර උනේ තවත් අහිංසක ජීවිතයක් මේ ලෝකෙට බිහි කරලා නන්නත්තාර කරවලා... කුඩ්ඩෙක් අමු වසලයෙක් විදියට.
සසර වෛරක්කාරයෙක් වෙච්ච සූප්පුවාගේ තාත්තා කියන අසමත්ජාති මනුස්සයා ඒ වෙද්දි සූප්පුවාගේ ව්‍යාපාරික කොටස් වලට අදාල සියලුම ලිපි ලේඛන වලට වැඩ කටයුතු සිද්ද කරලා තමන්ගේ පාලනයට අරන් තිබ්බා. අපි ඌට උදව් කරන්න හැදුවා. ඌව අපි එක්ක එක්කන් යන්න හැදුවා... ඒත් ඌ හිනා වෙලා කිව්වෙ
අයි ඩෝන්ට් හෑව් මච් ටයිම් මචං..... සූනර් ඔර් ලේටර් මාම් විල් කෝල් මී....
(මට වැඩි කාලයක් නෑ බං ... ඉකමනට හරි පහුවෙලා හරි අම්මා මට කතා කරයි)
අපි විසිරිලා ගියා..
එකම වේදිකාවේ දෙපැත්තේ නවත්තපු කෝච්චි දෙකක ... ඌ ලන්ඩන් ගියා... මමයි සුපුනයි චෙස්ටර් වලට ආවා.
ඒ වේගයෙන්ම කාලයත් ගියා. අවස්තා කීපයකදි ඌට කතා කලත් ඌ අපිට මඟහැරුණා..
වසර පහකට පස්සෙ, සූප්පුවා ආයෙත් මට හම්බවෙනවා.
මීගමුවේ මත්ලෝලීන් පුනුරුත්ථාපනය කරන ආයතනයක නේවාසිකයෙක් විදියට. ජීවිතේ ඇත්ත කතාව තේරුම් ගත්තත් උගේ දෛවය ඌට තව අවස්තාවක් නම් දීලා නෑ. ඇවිදින ඇටසැකිල්ලක් වගේ කොටට කපපු කොණ්ඩේ...සුදු ඇඳුම සහ වැහැරුණු සූප්පුවා සහ .... කෙල්ලො පිස්සුවෙන් වහේ පස්සෙන් ගිය සූප්පුවා ගේ වෙනස මට දැනුත් මැවිලා පේනවා.
දරුවන් මැටි පිඬක් බඳුය.... එය නිසියාකාරව නිසි හැඩතල..දරා ගැනීම් සහ අත්දැකීම් ලබාදෙමින් ඇඹීම දෙමාපිය ගුරුවරු වගකීමක් මෙන්ම සමාජයීය යුතුකමකි.... නැතහොත අයාලේ යන කපුටන් සිය කිලුටු තුඩින්... මැටි පිඬ විනාශ කර දමයි.
උඹට සුබ අනාගතයක් සූප්පුවා ....
කුෂාන්
14/02/2019

සූප්පුවා 01


මේ වගේ චරිත අපි අතරේ ඉන්නවද කියලා වෙලාවකට පුදුමත් හිතෙනවා. ඒත් ඇත්තටම එහෙව් චරිත මේ මහපොලවේ අපිට ඇස නොගැටී ජීවත් වෙනවා.
සූප්පුවා කියන්නෙ අපි දාපු නම උනාට මුන්දැගේ අයිඩිං කාඩ් ඒකේ නම රාජසිංහ රජතුමාගෙන් නම්බු තානාන්තර ගත්ත තෝම්බුවක් එක්කයි තියෙන්නෙ. කොටින්ම මේ කියන්නෙ අපතයෙක් නොවුන නමුත් දෙමාපියන් අසීමාන්තික ලෙස දක්වපු සෙනෙහස ආදරය නිසා වසර විසි ගණනින් පසුව දඩොං ගාලා සමාජෙට වැටුන කරුමෙට ජීවිතෙ විනාශ කරගත්ත අහිංසක සුන්දර හදවතක් තිබ්බ මනුස්සයෙක් ගැන.
ලංකාවේ සුපිරිම පැලැන්තියක රටේ නමගිය දෙමාපිය යුවලකගේ එකම දරුවා. උපත්තියෙන්ම සියලු සැප සම්පත් දෝතින් දරාගෙන , කුමාර ජීවිතයක් ගතකරපු එකෙක්.
ඔය සමහරක් ගෙවල් වල පිං බත් කෙලලා පුස් ඌරෝ වගේ පිම්බුන , මනුස්සයෙක් ආවම කාමරේ අස්සෙ ඉන්න, මොනාහරි ඇහුවම රට පණ්ඩිත කමක් දොඩවන, ඇමරිකන් ෆැන්ටසි අස්සෙ ජීවත් වෙන " බබාලා " සහ සූප්පුවා අතර වෙනස අහසට පොලව වගේ. සූප්පුවා බ්‍රයිටා නිව්ටල් ඩයල් එකක්
උදේට තමන්ගේ රියදුරා එක්ක වොල්වෝ කාරෙකකින් එන සූප්පුවා අඳින්නෙම ලකෝස්ට් , ලීවයි ස්ට්‍රවුස් ටී ශර්ට්, කලිසම් නම් වැන් හියුසෙන්, පීටර් එංගලන්ඩ් , අලුත්ම පන්නෙ සපත්තු ,
පිටින් වතුර උගුරක් තරම නොබොන , වාහනේට වෙලා දවල්ට ගෙදරින් ගේන කෑම එක කන , සූප්පුවා ට අපේ බැච් එකේ කෙල්ලො පිස්සු වැටිලා හිටියේ. ඒ තරමට මිනිහා හැන්ඩියා. ඒ වගේම ප්‍රතිරූපය, අපි දිහා වැරදිලාවත් බලන්නෙ නැතු කෙල්ලො සූප්පුවා ට ගුඩ් මෝර්නින්ග් කියන්න පොර කෑවා, ඌ එන ඉස්සරහය එක දාන්න රිංගනවා. මේ විදියට මාස ගාණක් ඌව දැලේ දාගන්ඩ ට්‍රයි කරාපු ලස්සනම කෙල්ලෙක් අන්තිමට ඌට ප්‍රසිද්ධියේ මෙහෙම කිව්වා
" තමුසෙ මහ පොන්නයෙක් ඕයි"
එදයින් පස්සෙ ලෙක්චර් එකට ආවත් ලැබ් එකකට ගියත් මොනවා කලත් සූප්පුවා ඒවා ඉවර උන සැනින් අතුරුදන් උනා.ආයෙත් ඊලග ලෙක්චර් එකට කොහෙන්දෝ ඉදලා මතු උනා. පස්සෙ ආරංචියෙ හැටියට ඌට ලමයි හිනාවෙන නිසා ඒකෙන් බේරගන්න වායුසමනය කරාපු ඔෆිස් කාමරයක් සියලු බඩු මුට්ටු එක්ක කොල්ලුපිටියේ මර්චන්ට් ටවර් එකෙන් කුලියට අරන් තිබුනා.මේ 2007 දී .රුපියල් අසූ දාහක් ද කොහෙද ඒ පොඩි කාමර කෑල්ලට කුලිය.
ඒ විදියට කාලය ගෙවෙද්දි අපි කොල්ලුපිටියේ කඩවල පිලිකන්නෙ ප්ලේන්ටි බිබී දුම් වලලු පාකරද්දි , සූප්පුවා අපේ බයිට් එක උනා. සමහරු කීවේ ඌට මොකක් හරි ලොකු අසනීපයක් ඇති කියලා. සමහරක් කීවේ මහන්තත්ත සල්ලිකාර අමන වේසිගෙ පුතෙක් කියලා, තව උන් කීවේ මහ උන් ඕනවට වඩා ඌ හුරතල් කරලා නිසා ඌට මෙලෝ අලබෝලයක් ගැන තේරුමක් නෑ කියලා.
ඔය කොයි හැටි වෙතත් එක සිකුරාදාවක රෑ අටට අපේ එක්සෑම් එකක් ඉවර වෙලා අපි පහලට බහිද්දී ලොබියෙ ඉඳන් ඉන්න සූප්පුවා මී හරකෙක් වගේ අඬනවා. පොඩි උන් මහ පාරේ අඬන්නෙ අන්න ඒ වගේ.
මොකා උනත් අපේ එකෙක් නිසාම අපි ඌට කිට්ටු කලා. ඌ අපෙන් දුරස් වෙන්න තවත් හේතුවක් තිබ්බා, ඒ ඉංගිරිසි හැකියාව. කොටින්ම සූප්පුවා සුද්දෙක්ට වඩා හොඳට ඉංගිරිස් කතා කලා, සමහර ආචාර්ය වරුත් බයයි ඌ එක්ක කතා කරන්න.
"ඇයි මචං මොකද අවුල?"
"ලීව් මී අලෝන් ප්ලීස් "
" මොකද යකෝ උනේ.... ?"
"ප්ලීස් බී පලයිට්.... තින්ක් ට්වයිස් බිෆොර් යු ස්පීක්"
ඒ ගොන් වහන්සේ ඒ අස්සෙත් ස්ටේටස් ඇන්ඩ් රෝල් නඩත්තු කරනවා. අන්තිමට අපි ඔය කොයි අප්පුහාමිටත් දෙන මව් බස, ගැමි සුවඳ මතක්වෙන බේත් ජුන්ඩක් ඌටත් දුන්නා
" ඈ පර බල්ලො... උබේ ආච්චිට $%&=@=#($((% තොට මොකෙක් හරි ගැහුවද? නැත්නං ගෙදර එකෙක් මැරිලද ගොං කපයා... හොටු පෙරිල්ල නවත්තලා මින්හෙක් වහේ කතා කරපං නැත්නම් තොගේ ඇ% දෙකෙන් උස්සලා පොලවේ ගහන්නේ වේසාවා..."
ඒ බේත ඌටත් වැඩ කලා , අනිත් උන්ට වගේ එක පාරටම නෙමෙයි ටිකක් වෙලා ගිහින් මාත්‍රා පහක් විතර දීලා කුනුහරුප තුන්සීයක් විසි දෙක හමාරක් කියලා ඌව නැගිට්ටවල කම්මුලටත් දෙකක් දුන්නාට පස්සෙ ඌ කතා කරන්න පටන් ගත්තා..
අපි වගේම පියෝ ශිංහල වලින් නම් නෙමෙයි .පොශ් සිංහලෙන්
ඌගේ කතාවට අනුව අම්මයි තාත්තා යි සමුලුවකට විදෙස් ගත වෙලා ලු. ගෙදර යන්න බලං ආවම ඩ්‍රයිවරයා පේන්න හිටියෙ නෑලු. උගේ ෆෝන් එකයි පර්ස් එකයි වාහනේ අස්සෙලු.
"ඉතිං බං ත්‍රීවිල් එකක් නැගලා ගෙදර පලකො.... අහවල් කෙලියටද මෙතන රෙන්න හදන්නෙ...?"
උගේ උත්තරෙ අම්මාපල්ලා අපේ කටවල් ඇරිලා කන් කඩා හැලිලා කලිසම් ගැලවෙලා බිමට වැටුනා
" මං තනියම යන්න දන්නෙ නෑ"
වයස විසි තුනක් වෙච්ච කොලඹ ඉපදිච්ච එකෙක් තනියම ගෙදර යන්න පාර දන්නෙ නෑ කිව්වම.. ඒ මදිවට උපන්තේකය බස් එකක ත්‍රීවීල් එකක ඌ ගිහිල්ලා නෑලු.
"ගෙදර ඇඩ්‍රස් එක දන්නවද....?"
ඒ උත්තරෙන් අපිට සිහිනැතිවෙන්න ආවා.
ඉමර්ජන්සි කොන්ටැක්ට් කාඩ් එක මගෙ වොලට් එකේ. ඒකෙ තිබුනා.
අපේ උන්ට මල පැන්නා
" උබ රීලා පුක හෝදන්න දන්නවද නැත්නම් ඒකටත් වැඩට එකෙක් ඉන්නවද..?"
"මූ මරන්න එපායෑ... නෑ මුගේ මහ උන් මරන්න ඕන මේ වගේ ලොන්ත පැටව් හදනවාට.."
"යකෝ ගල් කාරයෙක්ට අහු උනා නම් තෝ උස්සන් ගිහින් තියාගෙන පලන්නෙ...තූ ගොං වාහේ...."
ඔය අස්සෙ එලියට ගිය එකෙක් මෙහෙම කියං ආවා.
යමල්ල එලියට සික්කො මේක වහන්න හදන්නෙ. තමන් ගේ ගේ තියන ඉසව්ව නොදන්න අමුතුම තාලේ ජීවිතයක් එක්ක අපි පාරට බැස්සා.
දැන් මූට මොකද කරන්නෙ?
ඒ කාලේ ඔය ෆේස්බුක් ගූගල් මැප් අනම් මනම් ලටපට ලංකාවේ ප්‍රචලිත නෑ .ඒමත් නෙමෙයි අපිට ඒවට උපකරණ තිබ්බෙ නෑ. කල්පනා කරද්දි අපේ සමීරට ආවා අයිඩියාවක්
"මූ පොලිසියට ගිගින් දාමු "
"ඒක හරියන්නෙ නෑ බං මේ ගොන්තා ගේ ඇඩ්‍රස් එක හොයා ගන්න විදිය්ක් කල්පනා කරපං"
" ඔන්න ඕකට බම්බු ගහන්න කියල යං බං අපි. ඕකා හෙට උදේ වෙද්දි ගානට හැදිලා තියෙයි."
අපි ඌට එහෙම නොකලේ එක හේතුවක් හින්දා. දවසගානේ ඌ හම්බුනාම උදේට අපි
"ඒ රුපියල් සීයක් දීපං?"
කිසිම දාලා අදිමදි නොකර ඌ ඒක අපිට දුන්නා ඒ විතරක් නෙමෙයි උගෙන් අපිට අබමල් රේණුවක වැරද්දක් වෙලත් නෑ.
අන්තිමේ කාටද කල්පනා වෙච්ච අදහසක් අනුව ඒ වෙනකොටත් ඇඩ්මින් ඔෆිස් එකේ හිටි සර් කෙනෙක්ට කතාව කියලා උගේ පුද්ගලික ලිපිගොනුව අවුස්සල අපි උගේ ඇඩ්‍රස් එක ටෙලිෆෝන් නම්බරේ හොයා ගත්තා. කොල්ලුපිටියේ ඉඳන් ග්‍රීන් පාත් එක පහු කරලා බොරැල්ල පැත්තට යද්දී හම්බෙන පටුමගක තිබ්බ මහා විශාල බංගලාවට එනකන් අපි ඌව එක්කන් ආවේ පයින්.
පුදුම ජීවිත එව්වා. ඒ ගෙදර ගේට්ටුව ඌට ඇරුනට අපිට ඇරුනේ නම් නෑ අඩුම ගානේ ස්තූතියි කියන වචනයක් ඇහුනෙත් නෑ . ඔව් ඔය ලොකු මිනිස්සු ඔහොමයි , උන් පොඩි උන්ව පාගලා රදලයන් වගේ වැජඹෙන එක විතරයි කවදත් උනේ.
අපි එක පාරටම සමාජවාදීන් වෙලා සමානාත්මතාව ඇතිකරන්න විප්ලවයක් කරන්නත් මහා සුවිසල් මන්දිර ගිනිතියලා ඒවගේ හාමුලා නෝනලා කෙල්ලො කොල්ලො සමූහ ගොවිපලවල කම්කරුවන් ලෙස සේවය කරවන්න ප්ලෑන් කරමින් අපේ බෝඩිම් බලා පිටත් උනා.
ඊලඟ සුමානෙම සූප්පුවා ආවේ නෑ . ඌ ආවේ නෑ කියලා අපිට පාං යෑ. ඒත් ඊලග සඳුදා ඇඩ්මින් ඔෆිසියේ කෙනෙක් ඇවිල්ලා අපි හත් දෙනාහේ නම් අඩගහල කුලතුංග සර් ගේ ඔෆිස් එකට එකොලහ හමාර වෙද්දි එන්න කියන් පණිවිඩය දුන්න.
මතු සම්බන්දයි
කුෂාන්
02/13/19

Thursday, January 10, 2019

සංගීතේ සංසාරේ

ඩිස්ටි ඩිඩිං රපට රපට...ජිඟල ලඳුම් ජිඟල ලඳුම් ..... බිස්කට් කුඩු බිස්කට් කුඩු... උම්බලකඩ කැකිරි දොදොල්....
බසයට ගොඩ වූ වේලේ පටන්ගත් සංගීතය කෙතරම් කර්ණරසායනික වූ යේද යත් ලෝලෙවල් පාරෙන් හංවැල්ලට පැමිණීමටත් පෙර මට බැසීමට සිත් වූ නමුත් පසුම්බිය හරස්වූ නිසා මෙන්ම මාසයකට පසු ගෙදර බලා යන හෙයින් එම අදහස වෙනස් කර ගත්තෙමි. වෙන කරන්නට පුලුවන් ඇටි කෙහෙලක් නොවූ නිසාත් සරවුන්ඩ් ඩිජිටල් ඩොල්බි ස්ටේරියෝ හයි ෆයි ක්‍රමයේ ස්පීකර් සැට් එකක් බසයේ වහලයේ , සීට් පල්ලේ මෙන්ම මගීන් ගේ දෙපරැන්ද අස්සේ ද සවි කර ඇති නියාවෙන් මා දෑස යොමු කලේ ඩ්‍රයිවර් අයියාට මදක් පිටුපසින් වන්නට බසයේ වහලයේ එල්ලා තිබූ ටී වී රාජයා දෙසය.....
අවුරුදු කාලෙට සොපිං යන අක්කලා නංගිලා අදින තාලයේ ලෙගින් නොහොත් කකුලට ඇලී ගැලී වෙලී පවතින ජීන්ස් ඇදගත් කොට හැට්ටා වැනි ටී සර්ට් සහ මල්ටිලැක් කලර් කෝඩ් එකට අනුව කොන්ඩය පාට කල සංගීත කණ්ඩායම මා හට සිහි ගැන්වූයේ සංගීත කණ්ඩායමක් නොඑ පොසොන් පෙරහරේ අවසානයට යන රිලා නැටුම් කණ්ඩායම ය. ඒ සමගම
කණ්ඩායමේ නිවේදකයා මයික්‍රපෝනය අතට ගෙන
" ඉතිං අපේ රත්තරං යාලුවෝ ,රත්තරං නැන්දලා අක්කලා මාමලා , අපේ රත්තරං කොල්ලො සෙට් එක, රත්තරං අනුග්‍රාහක භවතුන්, පුංචි අපිට රත්තරං ප්‍රසංගයක් දීලා, අපේ නායක නිහතමානී කීබෝඩ් වාදක ලංකාවේ සුන්දර කලාකරු රත්තරං ------ අයියා එක්ක අපි ඔයාලව"
යනාදී වශයෙන් දහ අතේ වැදවැටෙමින් කල උගේ නිවේදනය මට සිහි කලේ බස් රතයක කෙල්ලෙකුගේ පුක මිරීකීමට ගොස් මාට්ටු වී මගීන් එකතු වී අම්බානකට තලා ලයිට් කණුවක බැඳ දමා සිටි කොලුවගේ පිංසෙණ්ඩු වීමය.
ප්‍රසංගය මෙහෙයවීමට කුලියට ගෙනා ප්‍රවීණ නිවේදක මහතා ඊට හපන්යැ... ඔහුට අනුව ලංකා ඉතිහාසයේ විජය රජතුමා කුවේණිය කසාද බැදි දවසේ දැමූ බජව්වේ සිට, චාලස් ඩයනා කසාදය මෙන්ම හැරී මේගන් විවාහ මගුලේද නිවේදක කටයුතු කර ඇත්තේ ඔහුය, ඒ සියලුම ප්‍රංසංග අතුරින් අති විශාල සුවිසාල මහා ජන රාශිය ජන ගංඟාව පැමින ඇත්තේ බුලත්වැල්ගොඩ ප්‍රජාසාලා පිට්ටනියටය. ඒ හාම කැමරාකරු සිය කැමරාව මහා ජන සංනිපාතයට අල්ලයි..... අඩි හයේ සරම අඩියට උස්සා ගත් කන් පාත් වෙන්න කසිප්පු ගැසූ අංකල් කෙනෙක් කාටදෝ පදේ කියා අමතන සෙයක් එකවරම තිරයේ දිස්වන විටම... කැමරාව ෆෝකස් වන්නෙ තරුණ රූමත් කෙල්ලෙක් වෙතටය.... කිරි පණු ගාය සහ කහඹිලියා කිතුල් ඇට සියල්ල එකට ගෑවුන කලක මෙන් කෙල්ල ඇඹරෙයි...
ඉන්පසුව් එලබෙන්නෙ... ජනප්‍රිය කලාකරුවකුගේ වේදිකා සම්ප්‍රාප්තිය ය, ඔහු ගේ ටීකාව අනුව මහගමසේකරයන් අමරදේව මාස්ටර් යනු අත දරුවන්‍ ය. කුඩා කාලයේ ඉංග්‍රීසි බිල්ලෙකුට බය වූ නිසා හෙතෙම නිතරම
" ඒ මයිනර්" " හිවිගෝ" "රස්තාෆාරේ" "රොක් ඇන්ඩ් රෝල්" යනුවෙන් කෑගසයි. ඉතා දුක් මහන්සියෙන් වැලිගොඩ දාන ගෙපල් කපන , පාර අතුගාන පොලව කොටන මෙවන් නිහතමානී ගායකයන් ගැන ටී එම් ජයරත්නයන් සිංදුවක් ද කියා ඇත ඒ
"පොලව කොටන තැන පාර හදන තැන දෙවියෝ වැඩ ඉන්නේ " යනුවෙන් හැදින්වෙන දෙවිවරු කොට්ටාසය මෙවන් අය යැයි මා තරයේ විස්වාස කරමි. ගායකයා සිය ලතෝනිය පටන්ගත් සැනින් වේදිකාවට ගොඩ වන්නේ නර්තන කණ්ඩායම වේ
පාරේ ඝෝෂාව සමග මට ඔවුන්ගේ නම ඇසුනේ.... අහවලී ප්‍රමුඛ ඇබෝශන්ස් නර්ත්න කණ්ඩායම ලෙසටය... නර්තන් කෙසේ වෙතත් ටයර් සංස්ථාවේ වැඩකරන සෙයක් දිස්වන ඔවුන් නටනාවාට වඩා කරනුයේ පස්චාත් භාගය මිනිසුන්ට හරවා වත්ත වටේට සෙලවීමය... එවා පට්ට නැටුම්‍ යැ , සිංදුවට අනුව කෙල්ල වෙන මිනිහෙක් එක්ක දපලාය... නැටුමට අනුව පෙන්වන්නේ කෙල්ල පන්සල් යන්න මල් කඩන බවත් සද අහසේ පායා ඇති බවත්‍ යැ..
දෙක කොටසින් හමුවෙමු
කුෂාන්

"අපි කවුරුද" දන්න අපි කවුරුත් නොදන්න "සේනක බටගොඩ"

"අපි කවුරුද" දන්න අපි කවුරුත් නොදන්න "සේනක බටගොඩ"
මීට ටික කලකට අතිශයින් ජනප්‍රිය වූ වායෝ සංගීත කණ්ඩායම ගායනා කරන "අපි කවුරුද" ගීතයේ සැබෑ හිමිකරු මෙන්ම එහි මුල් ගායකයා ගැන බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. කොටින්ම අන්තර්ජාලයට පමණක් සීමාවූ ලාංකීය සංගීතයේ අති විශිෂ්ට සංගීතරුවකු නොඑසේනම සැගවුණු පුරාවෘත්තයක් බඳු සේනක බටගොඩ ගැනයි මේ සටහන.
සටහනට නිමිත්ත උනේ
" අඩෝ අර අපි කවුරුද කවර් එකක් ගහපු එකා පට්ටයි නේ...මාර වොයිස් එකක් ඒක"
ඇත්තටම උනේ වායෝ ගහපු කවර් එක නැගලා ගියා මිසක්කා සේනක බටගොඩ ගේ ඔර්ජිනල් එක විද්‍යුත් මාධ්‍ය තුල ප්‍රචාරණය නොවීමත් එක්ක , ගොඩ දෙනෙක් වායෝ ස්වතන්ත්‍ර නිර්මාණයක් විදියට මිනිස්සු අතරට ගිය එක. වායෝ සෙට් එකත් මේ ගීත වල මුල් හිමිකරු ගැන සඳහන් නොකරන තරම්.
"Peac" නැමැති සිය සංගීත කණ්ඩායමත් සමඟ Classic Rock ආරට ගීත ගායනා කරන සේනක බටගොඩ , ලාංකික සංගීතයේ ක්ලැරන්ස් ලකුණ ට සමීප තවත්දක්ෂසංගීතවේදියෙක්.
තනු ,සංගීත නිර්මාණයට මෙන්ම ගී පද රචනයටත් විශිෂ්ටතමයකු ක්ලැරන්ස් විජේවර්ධන මහතාගෙන් පසු එම හැකියාව වැඩදායී ලෙස භාවිතා කල එකම පුද්ගලයා මොහු විය හැකිය. බටහිර සංගීතයේ "Bob Segar" මෙන්ම "Elton John" සුපිරි තරු හා සම කටහඬක් ඔහුට හිමිවීම සැබවින්ම විශ්මයජනකය.
එසේම ඔහුගේ ගීත අමු අමුවේ අනුකරණයට ලක්වීමත් , ලාංකීය මාධ්‍ය තුල ඔහුගේ ගීත ප්‍රචාරණය නොවීමත් , ඔහු හට නිසි තැන නොලැබීමත් සැබවින්ම කණගාටුදායකය
අපි කවුරුද.... අනන්තයට යනවාමයි.... සැනසෙන්නම් මා.... නිදි නැති රැය ඔහුගේ ජනප්‍රිය ගීත කිහිපයකි

මෙතනින් සවන්දෙන්න