Friday, May 29, 2020

මනුස්සකම

මනුස්සකම

ඇඳිරි නීතිය ඉවර වෙන්න පැයක් එක හමාරක් තියලා ආපු පොඩි ඩිමෝ බට්ටා ලොරියක් කඩවත පැත්තට මූණ දාලා හරවලා නතර කලා. ලොරියේ තිබුණෙ අල,ළූණු, හාල් මැස්සන් සහ පොල්. ලොරිය පදවගෙන ආපු රියදුරු මහත්තයා තරුණයි, ඔහුගේ බිරිඳත් සහයට ඇවිල්ලා... ඉස්සරහා සීට් එකේ පරිස්සමට නිල් පාට මල්පීස් රෙදි කෑල්ලකින් උණුහුමට ඒ දෙන්නගේ පුංචි පුතා තද නින්දක. ටක් ගාලා ඒ තරුණයා අල සහ ළූනු කියලා ලොකු අකුරෙන් ලියපු බෝඩ් කෑල්ලකුත් පාර අයිනෙන් හිටෙව්වා... විනාඩි පහක් යන්න උනේ නෑ පාරේක් ගියපු කාර්, වෑන්, ලොරි වගේම ත්‍රීවීල්, මෝටර්බයිසිකල් සේරම වාහන ජාති විසි පහකට වැඩිය වෙනදා වගේ නැතුව හරි පිලිවෙලට නතර වෙලා. සේරම මුහුණු ආවරන බැඳගෙන. සමහරු ලේන්සු වලින් මූණ බැඳගෙන.... හදිස්සියටද කොහෙද කොල්ලො දෙන්නෙක් ටීසර්ට් වලිනුත් මූණ කට වැහෙන්න වහගෙන. සේරම එකිනෙකාට ඈතින් ඒක හරි අපූරුයි.... පෝලිම ඉස්සරහට යනවා

ලොරියේ ආපු යුවලගෙන් ස්වාමියා බඩු කිරලා මලු වලට දාලා දෙනවා... බිරිඳ ගණන් හදලා සල්ලි අරගන්නවා ඉතුරු දෙනවා... ඒ ගෑණු ළමයගේ ඇස්වල වසංගත රෝග බියක් අස්සේ උනත් මම දැක්කේ පුදුමාකාර සතුටක්... තමන්ගේ ස්වාමියගේ උත්සහය ධෛර්යය එක්ක වෙනදාට වඩා මිනිස්සු පෝලිමේ බඩු ගන්නකොට.... නුහුරු විදියට කැල්කියුලේටරය ඔබන ගමන් පොඩි එකසයිස් පොතක පොඩි උන්ගේ තාලෙට ගණන් ටික ලියලා යටින් ඉරකුත් ඇඳලා එක්කාසු කරද්දි මට හිතුනා උන් දෙන්නම තාම වෙලඳාම අස්සේ කාබසිනියා නොවිච්ච උන් වග....

පෝලිම පිලිවෙලට ඉස්සරහට යද්දි කෙනා දෙන්න බඩු අරන් යද්දි , පරණ අත්දිග කමිසයක් එක්ක අවපැහැ සරමක් ඇඳලා රුපියල් විස්සෙ කලු කවරයක් එල්ල ගෙන උන්නු මනුස්සයා.. මං එයාව දන්නවා.. නම ජයසේන. මේ පැත්තේ වතු සුද්ද කරන එක වගේ සේරම කුලී වැඩ කරන්නේ එයා. ජයසේනගේ වාරේ...

"අල පන්සීයයි...හාල් මැස්සො දෙසීය පණහයි"

බඩු ටික කිරලා කවරෙට දා ගෙන සල්ලි දෙද්දි... පිටි පස්සෙන් පෝලිමෙ උන්න කොල්ලෙක් අහනවා....

"අංකල් ඔය ගත්තා මදි නේද ?"

"නෑ මහත්තයෝ.... ඇති....ඇදිරිනීතිය හින්දා දවස් හයකින් කිසිම සල්ලියක් නෑ "

තත්පර පහක් යන්න ඇති....

"මල්ලි මේ මාමට අල කිලෝ එකක් වෙන්නයි, ළූණු කිලෝ එකක් වෙන්නයි දෙන්න... "

බඩු ගත්තා මදි නේද කියලා අහපු කොල්ලා කිව්ව... ඒ එක්කම පෝලිමේ පොඩ්ඩක් පිටි පස්සෙන්...

"තව පොල් ගෙඩි පහක් දෙන්න... මං ඒකට සල්ලි දෙන්නම්... " එහෙම කිව්වේ පෙනුමෙන් ඩියුටි ඉවර වෙලා ගෙදර යන පොලිසියේ රාලහාමි කෙනෙක් වගේ...

"හාල් මැස්සො තව පන්සීයක් දෙන්න..." ඒ තව නෝනා කෙනෙක්....

බඩු විකුණපු ජෝඩුවගේ ගානේ එයාලා කන්න අරන් තිබුණ සැමන් ටින් එහෙකුත් ඒ මාමගේ කවරෙට වැටෙනවා.

ඒ විතරක් නෙමෙයි.... හැමෝම ඒ පෝලිමේ උන්න හැමෝම තමන්ගේ සාක්කුවෙන් පර්ස් එකෙන් ගත්ත රුපියල් පණහා සීය පන්සීය එක්ක එකතු කරපු මුදලක් ජයසේන මාමගේ අතමිට මොලවනවා...

තවත් ටික වෙලාවකින් මහ පාරෙන් අතුරු පාරට හැරිලා එක උරේක කිලෝ දහයේ හාල් මිටියකුත් අනික් අතින් සෝයාමීට් පරිප්පු අල,ළූණු පුරෝපු සිලි සිලි මල්ලකුත් එල්ලගෙන... ජයසේන මාමා සෑහෙන සංතෝසෙන් ගෙදර යනවා.

කොරෝනා නෙමෙයි තවත් වසංගත සීයක් ආවත් මේ සුන්දර මිනිස්සු ටික මතු කරගත්ත ආදරණීය මනුස්සකම් ටික ඉතුරුවෙලා තියන තාක්කල් තවත් එක අහිංසකයෙක් හරි බඩගින්නේ ඉන්නේ නෑ කියන එක ඉරහඳ වගේ විශ්වාසයි.

කවදා හරි දවසක අර ලොරියේ ඉස්සරහා ගුලි වෙලා නිදන් උන්න පුංචි පුතා ලොකු මහත්තයෙක් වෙච්චි දවසට ඒ අම්මයි තාත්තයි ...කොරෝනා කියලා වසංගත රෝගයක් කාලේ ලංකාවේ මිනිසුන්ගේ මනුස්සකම ගැන ලස්සන කතාවක් කියයි නේද කියලා මට හිතුණා.

මේ පුංචි දුප්පත් රටේ කොයි තරම් පොහොසත් හදවත් තියනවාද... අපි මොනතරම් වාසනාවන්ත මිනිස්සු ද , අපි විසින්ම අපිට අපි නැති කරගෙන තියනවාද කියන ප්‍රශ්නෙත් ඒ එක්ක්ම මට දැනුනා

කුෂාන් ප්‍රේමසිරි
26/03/2020

පැණි කොමඩු

පැණි කොමඩු

වෙනදට එලෝලු එලෝලු කියලා කෑගහගෙන යන එලවලු ලොරිය අද නවත්තන්නෙම නැතුව යනවා. කෑගහන්නෙත් නෑ. මං අත්පොඩියක් ගහලා කෑගැහුවා. ටක් ගාලා වාහනේ වේගය අඩු කරලා නහය කට වැහෙන්න බැඳන් උන්න ලේන්සුව පහත් කරලා රියදුරු මහත්තයා කතා කලා.

"තරාදිය ගෙදර දාලා ඇවිල්ලා මහත්තයා. අරං එන්න යනගමන්. මං එද්දි නවත්තලා කතා කරන්නම්"

මං හා කියලා ඔලුව වනලා වෙන වැඩක් කරන්න ගත්තා පැය බාගෙකින් වගේ හෝන් ගහන සද්දයක් ඇහිලා බලද්දි එලෝලු ලොරිය ආපහු ඇවිල්ල. ගේන එලවලු පවා හෝදලා ගෙට ගන්න නිසා මං එලෝලු දාන ප්ලාස්ටික් බේසමත් අරන් එතනට ගියා.

"කෝ මහත්තයෝ මාස්සෙක?"

එතකොට මතක් උනේ මාස්ක් එකක් අනිවාර්යයෙන් දාන්න කිව්වා නේද කියලා. බැලින්නම් ඒක සාක්කුවෙ. ඒකත් දාගෙන මං එලෝලු ලූණු සුඳු ලූණු ගන්නවා. අහලපහල දෙතුන් දෙනා එනවා පරතරය මීටරේ උනාට ලොරිය වටේට. ඒ අස්සෙන් KDH වෑන් එකක් ආවා යන්න ගිය ගමන එක පාරටම නතර කරලා, බොහොම වැදගත් පෙනුමැති මහත්මයෙක් බැහැලා ආවා. මාස්ක් දාලා අවුකණ්ණාඩි දාලා...

"මේ කොමඩු කීයද?"

"කිලෝ එක හැටයි මහත්තයා"

"හැටයි? අයිසේ කොමඩු කිලෝ එක රුපියල් තිහයි ...පණහා ගානේ දෙන්න ටිකක් ගන්න වැඩිපුර"

එහෙම කියලා මහත්තයා කොමඩු ගෙඩි අරගෙන ටොක් ටොක් ගාලා ඇනලා තෝරන්න ගත්තා. කොමඩු ගෙඩිය තට්ටු කරලා තෝරන හැටියෙන්ම මට හිතුණා නොම්බර එකේ ගොවි මහත්තයෙක් ගේ පුතෙක් බව. ගෙඩි ව්සිපහක් ව්තර තිබුණ කොමඩු ගොඩෙන් ගෙඩි දහයක් දොලහක් තෝරලා ලොරි තට්ටුවෙම පැත්තකට කරපු මහත්තයා මුදලාලිට කතා කලා.

"ආ මේ ටික බලන්න ...තරාදිය ශුවර් නේහ්... කිලෝ එකට හත්සීය පණහා නෙමෙයිනේ වැටෙන්නෙ?"

මොකුත් නොකියා හිනාවෙච්ච මුදලාලි ප්‍රශ්නයක් ඇහුවා

"මෙච්චර ගොඩක් මොකටද සර්? "

"රස්නෙ නෙ අයිසේ.....බබාලට ජූස් හදලා හරි බොන්න පුලුවන් නේ...නරක් වෙනව කියලද"

මුදලාලිට තියෙන්නෙ ගෙඩි ටික කිරලා ගාණ හදලා සල්ලි ගන්න.

ඒ උනාට උනේ වෙනස් දෙයක්.

"සර් මෙච්චර ගොඩක් සර්ට දෙන්න විදියක් නෑ "

" තමුසේ මාර බයිලයක් නෙ දැන් කියන්නෙ...එහෙම දෙන්න බෑ කියන්නෙ කොහොමද?"

"සර් ඔහොමම යන ගමන් රාජසිංහ මාවතේ ගල් වැඩපොල ඉස්සරහා ගෙදරට යන්න එතන සර්ට ඕන තරම් අන්නාසි කොමඩු පොල් ගන්න පුලුවන් මම ගන්නෙත් එතනින්"

තවත් මොනවදෝ කියවෙද්දිම එලෝලු මුදලාලි

"මහත්තයා මාව දන්නවනේ? යන,ගමන් එතනින් ගන්න අනවශ්‍ය කතන්දර වැඩක් නෑ"

" හරි තමුසෙලා අපි දෙගොල්ලොම පාරෙ යන මිනිස්සුනේ ...ආයේ හම්බවෙයිනෙ "

කියාගෙන ඒ මහත්තයා වෑන් එකට ගොඩවෙලා දුම දාන් ගියා. පාඩුවෙ එලවලු ටිකත් අරන් මං හෙමීට ඇහුවා ඇයි අර මනුස්සයට ඒ ටික නොදුන්නේ කියලා.

මේ මට හම්බවෙන උත්තරේ. ( ඒ මනුස්සයා ගේ වචන වලින්ම)

"මල්ලි... වාහන තියන සල්ලි තියන මිනිසුන්ට ඇඳිරිනීතිය කියලා එකක් නෑ . උන්ට ඕන අරක්කුත් අරන් බයිට් එකට ඌරු මසුත් අරන් ඕන්නම් # ගෑණුත් ගෙදරට අරන් යන්න පුලුවන්......

අතේ සතේ නැතුව , පොඩි උන්ට ටොපියක් පලතුරු ගෙඩියක් ගන්න විදියක් නැතුව යන්තං ලෙවකාලා වේල ගැටගහන උන් අනන්තයි. .... මං දවසට ගෙවල් දෙසීයකට වඩා යනවා... මල්ලි බලන්න ඉස්සරහා සීට් එක ලඟ ප්ලාස්ටික් බාල්දියේ තියන පොඩි සල්ලි ගොඩ.... ඔය මිනිස්සු කැට කඩලා, එක්කසු කරලා එලෝලු ගනිද්දි දීපු සල්ලි.... "

මං ඇත්තටම එබිලා බැලුවා පොඩි ප්ලාස්ටික් බකට් එහෙක පහේ දහයේ රුපියලේ දෙකේ කාසි පිරෙන්නම තිබුණා.

මුදලාලි මං දිහා බලලා කිසිම හැඟීමක් නැති මූණකින් මට අයෙමත් මෙහෙම කිව්වා.

"එහෙම මිනිසුන්ට පොඩි උන් එක්ක කන්න කියලා පැණිකොමඩු ගෙඩියක් නිකං දෙන්න බැරිනම් අපි මොක්කුද මල්ලි.... "

මට සීයට දාහක් විස්වාසයි ඒ පැණිකොමඩු හුඟක් රස ඇති.

කුෂාන් ප්‍රේමසිරි

23/04/2020

#.ලි

පස්සෙ ආරංචියේ හැටියට ඔහුගෙන් එලවලු ගන්න සෞඛ්‍ය අංශයේ ආරක්ෂක අංශයේ අයට හැම "මං ගාණේ මේකත් " කියලා මොනවා හරි මල්ලෙ ඔබනවලු.

නිවුස්‍

නිවුස්‍

වත්තල පැත්තෙ ගෙදරකට පැන්න තුවක්කු අරගත්ත හොරු රංචුවක් , ගෙදර මිනිසුන්ගේ වටිනා බඩු මුට්ටු සේරම මංකොල්ල කාලා , ගෙදර හිටිය තරුණ ගැහැණු ළමයෙක්ටත් අතවර කරන්න උත්සහා කරලා ...ඒත් එහෙම නොකර පැනලා ගිහිල්ලා.

ඕක වැදගත් හැදියාවක් සහිත සැබෑ මාධ්‍යවේදීන් වාර්තා කරන්නෙ මෙහෙම.

"ඊයේ අළුයම වත්තල හේකිත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ ආයුධ සන්නද්ධ සංවිධානාත්මක අපරාධකරුවන් කණ්ඩායමක් නිවැසියන් තර්ජනය කර බියගන්වා රුපියල් ලක්ශ හතලිහකට ආසන්න වටිනාකමකින් යුතු ස්වර්ණාභරණ සහ මුදල් ඇතුළු භාණ්ඩ තොගයක් රැගෙන පලාගොස් ඇත. එ අතරම නිවසේ ව්සූ විසි දෙහැවිරිදි තරුණියකට අතවර කිරීමට උත්සහා දරා ඇති අතර , කම්පනයට පත් තරුණිය වත්තල රජයේ රෝහලට ඇතුලත් කර ඇත. පලගිය අපරාධකරුවන් සොයා වත්තල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි...."

නූලක් දාපු අයිඩෙන්ටියකුයි, ඩිජිටල් කැමරාවක් එක්ක මයික් එකක් දෙපරන්දේ ගහං ඉන්න බෝතල් පත්තරකාරයෝ සිද්දිය වාර්තා කරන්නේ මෙහෙම

"ඔව් අප මේ මොහොතේ සිටින්නේ එම අතවරය සිදුවූ නිවස අසල අප මේ මොහොතේ ඩ්‍රෝන තාක්ෂණය යොදා නිවසේ පිහිටීම ඔබට දැකගන්නට සලස්වනවා ( ඩ්‍රෝනයක් මගින් නිවස පෙන්වයි) ඔව් ඔබට දැකගන්නට පුලුවන් වහලයට උලු හෙවිල්ලා ඇති නිවසේ වම්පසින් ලැට් එක පිහිටා ඇති ආකාරය. පිටුපසට වන්නට පොල්ගහේ බැඳ ඇති රෙදිවැලේ... කාන්තා යට ඇඳුම් සහ තුවායක් ඇතිබව පෙනීයනවා...මා සිතන්නේ එම පෑන්ටීස් අතවරයට ලක්වූ සුරූපී තරුණිය පෙරදින ෆාමසියට යාමේදී හැඳගෙන සිටි ඒවා බව. ඒ ගැන විසේස,විමර්ශනයක් සිදු කෙරෙනවා...."

( මයික් එකත් මාධ්‍ය ආයතනයේ නම ගැසූ ටීසර්ටයත් හැඳි නිවේදක තුමා පෙන්වයි. නැවතත් නිවසේ ඉදිරිපස දෙසට කැමරාව යොමුකරයි)

(ඉන්පසුව පෙන්වන්නේ නිවැසියන් පුටුවල හිඳ වැලපෙන ආකාරය වන අතර, විලාප නඟමින් හඬනා කාන්තාව දෙස වැඩිවෙලාවක් කැමරාව අටවාගෙන සිට ,නැවතත්
දර්ශනය වෙනස් කරයි )

"ඒ වගේම මා සමඟ මේ මොහොතේ මෙතැන සිටිනව මෙම නිවැසියන්ගේ ලඟම ඥාතියකු.... අපි ඔහුව සම්බන්ධ කරගන්නවා වැඩිදුර විස්තර සඳහා..."

( උදේට මූණවත් හේදුවේ නැති මිනිසකු පෙන්වයි)

"කොහොමද මේ සිද්දිය වෙලා තියෙන්නෙ?"

" ඊයේ පාන්දර දෙකට විතර වහෙන් බැහැලා තමයි ගෙට ඇතුලු වෙලා තියෙන්නෙ..
ඊට පස්සෙ ගෙදර අයගේ අතපය බැඳලා කටට පාංකඩ ඔබලා අල්මාරිය....කඩලා ත"

(නිවේදක සුරුස් ගා මැදින් පනියි)

"ඔව් ඔබ ඒ කියන්නෙ අල්මාරිය ට හේත්තු කරලා තමයි මේ තරුණිය අපචාරයට ලක් කලේ?"

"නෑ නෑ අල්මාරිය කඩලා ලාච්චුවේ සල්ලි රත්තරං බ...."

(නැවතත් නිවේදක #සුරුස් ගා මැදින් පනියි)

" අහා...ඒ කියන්නෙ එක්කෙනෙ ලාච්චුව කඩලා සල්ලි ගනිද්දි අනික් අය තරුණියව අපචාරයට ලක් කරලා... මේ මොහොතේ ඔබට පෙනෙනවා ඇති පොලිස් නිල සුනඛයන් ගෙන්වා අපරාධකරුවන් පිලිබඳ හෝඩුවාවන් පරික්ෂා කරන ආකාරය... එසේම අප තවදුරටත් මෙම ස්ථානයේ රැඳී සිටිමින්
වැඩිදුර විස්තර වාර්තා කිරීමට බලාපොරොත්තු වෙමින් ප්‍රධාන පාලක මැඳිරියට යොමුවනවා.. මම සඳලාල් වැන්ඩවර්ත් "

(ප්‍රධාන පාලක මැඳිරියේ පුවත් කියවන ජෝඩුව පෙන්වයි)

"බොහොම ස්තූතියි සඳලාල් අප ඒ වගේම මේ මොහොතේ සම්බන්ද කරගන්නවා වත්තල රෝහල් පරිශ්‍රයේ රැඳීසිටින අප මණ්ඩලික වාර්තාකරු කුයියතොන්ත...ආයුබෝවම් කුයියතොන්ත "

"ආයූබෝවං බහුරංග මා මේ මොහොතේ රඳී සිටින්නේ වත්තල රෝහලේ කාන්තා වාට්ටුව අසල එම අතවරයට මුහුණ දුන් තරුණිය හා සම්බන්ද වන්න්නට...."

(රෝහල් ඇඳක නිදාසිටිනා තරුණියකගේ මුහුණ පෙන්වයි)

"ඔබ කොහොමද ඒ සිදුවීමට මුහුණ දුන්නෙ?"

(තරුණිය හඬමින් අසීරුවෙන් කතා කරයි)

"මට මොකුත් මතක නෑ එකවරම ඇඟට පැන්න මතකයි ඊට පස..."

(නිවේදක මැඳින් පනී)

" ඒ කියන්නෙ ඔවුන් ඇඟට පැන්න...ඉදිරිපසින්ද...ඔබගේ පිටුපසින්ද...ඔබ ලේසියෙන් ගලවන්න පුලුවන් ඇඳුමක් ද හැඳ සිටියේ.... ඔවුන් ඒක කලේ කොහොමද ?"

--------*-----------*----------*--------------*

ඕකයි කතාව මිත්‍රවරුනි. මිනිහෙක්ගේ අවම පෞද්ගලිකත්වය උපරිමයෙන් තිබිය යුතු තැනකදි පවා තමන්ගේ කුප්ප කුපාඩි මජර තිරිසන් මාධ්‍ය භාවිතය පෙන්නන බෝතල් පත්තර කාරයෝ.... නුදුරු දිනේක ඔබගේ නිදන කාමරයටම කැමරාමන් කෙනෙක් එක්ක කඩාගෙන පැනලා .... අපට පවසන්න ඔබට හැඟෙන දේකියලා ඇහුවොත් පුදුම වෙන්න එපා ඈ.... මොකද ඕන එකටයි එපා එකටයි උන්ගේ මීඩියා අයිඩින්ටිය උරුක් කලාම උන්ට හොට දාන්න අවසර දුන්නෙත් අපිමයි.

අර නේවි එකේ කොල්ලන්ගේ ගෙවල් පෙන්නලා, උන්ගේ, ඒ පවුල් වල මිනිසුන්ගේ ආත්මගෞරවය බිංදුවට දාපු බෝතල් පත්තරකාර මහත්තුරුන්ට කියන්න තියෙන්නෙ... තමුසෙලා වැල ෆිල්ම් එහෙක ලයිට් අල්ලන්නවත් සුදුසු නෑ.

කුෂාන් ප්‍රේමසිරි