Friday, May 29, 2020

පැණි කොමඩු

පැණි කොමඩු

වෙනදට එලෝලු එලෝලු කියලා කෑගහගෙන යන එලවලු ලොරිය අද නවත්තන්නෙම නැතුව යනවා. කෑගහන්නෙත් නෑ. මං අත්පොඩියක් ගහලා කෑගැහුවා. ටක් ගාලා වාහනේ වේගය අඩු කරලා නහය කට වැහෙන්න බැඳන් උන්න ලේන්සුව පහත් කරලා රියදුරු මහත්තයා කතා කලා.

"තරාදිය ගෙදර දාලා ඇවිල්ලා මහත්තයා. අරං එන්න යනගමන්. මං එද්දි නවත්තලා කතා කරන්නම්"

මං හා කියලා ඔලුව වනලා වෙන වැඩක් කරන්න ගත්තා පැය බාගෙකින් වගේ හෝන් ගහන සද්දයක් ඇහිලා බලද්දි එලෝලු ලොරිය ආපහු ඇවිල්ල. ගේන එලවලු පවා හෝදලා ගෙට ගන්න නිසා මං එලෝලු දාන ප්ලාස්ටික් බේසමත් අරන් එතනට ගියා.

"කෝ මහත්තයෝ මාස්සෙක?"

එතකොට මතක් උනේ මාස්ක් එකක් අනිවාර්යයෙන් දාන්න කිව්වා නේද කියලා. බැලින්නම් ඒක සාක්කුවෙ. ඒකත් දාගෙන මං එලෝලු ලූණු සුඳු ලූණු ගන්නවා. අහලපහල දෙතුන් දෙනා එනවා පරතරය මීටරේ උනාට ලොරිය වටේට. ඒ අස්සෙන් KDH වෑන් එකක් ආවා යන්න ගිය ගමන එක පාරටම නතර කරලා, බොහොම වැදගත් පෙනුමැති මහත්මයෙක් බැහැලා ආවා. මාස්ක් දාලා අවුකණ්ණාඩි දාලා...

"මේ කොමඩු කීයද?"

"කිලෝ එක හැටයි මහත්තයා"

"හැටයි? අයිසේ කොමඩු කිලෝ එක රුපියල් තිහයි ...පණහා ගානේ දෙන්න ටිකක් ගන්න වැඩිපුර"

එහෙම කියලා මහත්තයා කොමඩු ගෙඩි අරගෙන ටොක් ටොක් ගාලා ඇනලා තෝරන්න ගත්තා. කොමඩු ගෙඩිය තට්ටු කරලා තෝරන හැටියෙන්ම මට හිතුණා නොම්බර එකේ ගොවි මහත්තයෙක් ගේ පුතෙක් බව. ගෙඩි ව්සිපහක් ව්තර තිබුණ කොමඩු ගොඩෙන් ගෙඩි දහයක් දොලහක් තෝරලා ලොරි තට්ටුවෙම පැත්තකට කරපු මහත්තයා මුදලාලිට කතා කලා.

"ආ මේ ටික බලන්න ...තරාදිය ශුවර් නේහ්... කිලෝ එකට හත්සීය පණහා නෙමෙයිනේ වැටෙන්නෙ?"

මොකුත් නොකියා හිනාවෙච්ච මුදලාලි ප්‍රශ්නයක් ඇහුවා

"මෙච්චර ගොඩක් මොකටද සර්? "

"රස්නෙ නෙ අයිසේ.....බබාලට ජූස් හදලා හරි බොන්න පුලුවන් නේ...නරක් වෙනව කියලද"

මුදලාලිට තියෙන්නෙ ගෙඩි ටික කිරලා ගාණ හදලා සල්ලි ගන්න.

ඒ උනාට උනේ වෙනස් දෙයක්.

"සර් මෙච්චර ගොඩක් සර්ට දෙන්න විදියක් නෑ "

" තමුසේ මාර බයිලයක් නෙ දැන් කියන්නෙ...එහෙම දෙන්න බෑ කියන්නෙ කොහොමද?"

"සර් ඔහොමම යන ගමන් රාජසිංහ මාවතේ ගල් වැඩපොල ඉස්සරහා ගෙදරට යන්න එතන සර්ට ඕන තරම් අන්නාසි කොමඩු පොල් ගන්න පුලුවන් මම ගන්නෙත් එතනින්"

තවත් මොනවදෝ කියවෙද්දිම එලෝලු මුදලාලි

"මහත්තයා මාව දන්නවනේ? යන,ගමන් එතනින් ගන්න අනවශ්‍ය කතන්දර වැඩක් නෑ"

" හරි තමුසෙලා අපි දෙගොල්ලොම පාරෙ යන මිනිස්සුනේ ...ආයේ හම්බවෙයිනෙ "

කියාගෙන ඒ මහත්තයා වෑන් එකට ගොඩවෙලා දුම දාන් ගියා. පාඩුවෙ එලවලු ටිකත් අරන් මං හෙමීට ඇහුවා ඇයි අර මනුස්සයට ඒ ටික නොදුන්නේ කියලා.

මේ මට හම්බවෙන උත්තරේ. ( ඒ මනුස්සයා ගේ වචන වලින්ම)

"මල්ලි... වාහන තියන සල්ලි තියන මිනිසුන්ට ඇඳිරිනීතිය කියලා එකක් නෑ . උන්ට ඕන අරක්කුත් අරන් බයිට් එකට ඌරු මසුත් අරන් ඕන්නම් # ගෑණුත් ගෙදරට අරන් යන්න පුලුවන්......

අතේ සතේ නැතුව , පොඩි උන්ට ටොපියක් පලතුරු ගෙඩියක් ගන්න විදියක් නැතුව යන්තං ලෙවකාලා වේල ගැටගහන උන් අනන්තයි. .... මං දවසට ගෙවල් දෙසීයකට වඩා යනවා... මල්ලි බලන්න ඉස්සරහා සීට් එක ලඟ ප්ලාස්ටික් බාල්දියේ තියන පොඩි සල්ලි ගොඩ.... ඔය මිනිස්සු කැට කඩලා, එක්කසු කරලා එලෝලු ගනිද්දි දීපු සල්ලි.... "

මං ඇත්තටම එබිලා බැලුවා පොඩි ප්ලාස්ටික් බකට් එහෙක පහේ දහයේ රුපියලේ දෙකේ කාසි පිරෙන්නම තිබුණා.

මුදලාලි මං දිහා බලලා කිසිම හැඟීමක් නැති මූණකින් මට අයෙමත් මෙහෙම කිව්වා.

"එහෙම මිනිසුන්ට පොඩි උන් එක්ක කන්න කියලා පැණිකොමඩු ගෙඩියක් නිකං දෙන්න බැරිනම් අපි මොක්කුද මල්ලි.... "

මට සීයට දාහක් විස්වාසයි ඒ පැණිකොමඩු හුඟක් රස ඇති.

කුෂාන් ප්‍රේමසිරි

23/04/2020

#.ලි

පස්සෙ ආරංචියේ හැටියට ඔහුගෙන් එලවලු ගන්න සෞඛ්‍ය අංශයේ ආරක්ෂක අංශයේ අයට හැම "මං ගාණේ මේකත් " කියලා මොනවා හරි මල්ලෙ ඔබනවලු.

No comments:

Post a Comment