Friday, May 29, 2020

ASP අයිවන් බොතේජු

ASP අයිවන් බොතේජු

මීට වසර තිහකට පෙර එනම් 1990 ජුනි මස 11 වෙනිදාය. උදෑසන හයට පමණ මඩකලපුව පොලිස් ස්ථානයට කඩා වැදුණු එල්ටීටීඊ ත්‍රස්තවාදීන් පිරිසක් සේවයේ නියුතු පොලිස් නිලධාරීන් තිදෙනෙකු පැහැර ගන්නා ලදී. ඊට පැයකට පසු එනම් උදෑසන හතට නැවත මඩකලපුව පොලිස් ස්ථානය වට කෙරූ ත්‍රස්තවාදීන් සම්පූර්ණ පොලිස් ස්ථානයම සිය ග්‍රහණයට නතු කර ගත්තේය.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ගේ සාම සාකච්ඡා වැඩපිළිවෙළ නිසා රජයේ හමුදාවෝ සහ කොටි ත්‍රස්තවාදීන් අතර සටන් විරාමයක් පැවති වකවානුවක මෙසේ මඩකලපුව පොලිස් ස්ථානය අල්ලා ගැනීම විශේෂ කරුණකි.

මඩකලපුව පොලිස් ස්ථානයේ සේවය කල සිංහල නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් වල පිරිස ගුවන් තොටුපල වෙතටත්, දෙමළ සහ මුස්ලිම් පොලිස් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් වල පිරිස් මඩකලපුවේ ශාන්ත මේරි දේවස්ථානය තුලටත් ගෙනයනු ලැබූ අතර, වැඩ බලන් පොලිස් ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරීන් හතර දෙනෙකු එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් රඳවාගන්නා ලදි.

පොලිස් නිලධාරීන් ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සතුව තිබූ මුදල් , ස්වර්ණාභරණ සහ අනෙකුත් වටිනා භාණ්ඩ සියල්ල ත්‍රස්තවාදීන් විසින් සිය භාරයට ගත් අතර එහි වටිනාකම රුපියල් මිලියන හතලිස් පහක් හෙවත් ලක්ෂ හාරසිය පණහකි.

ඒ අතරම පොලිස් ස්ථානයේ ආයුධ ගබඩාවේ තිබු

T56 අවි 109
T84 S වර්ගයේ රයිෆල 77
LMG (සැහැල්ලු මැශීන් තුවක්කු ) 28
ස්වයංක්‍රීය රයිෆල 29
SMG (Sub Machine Gun) 65
.303 ප්‍රමාණයේ රයිෆල 78
SAR 80 අවි 78
සහ පතුරම් තොගයක් පැහර ගන්නා ලදී.

ඒ සමගම එදින පස්වරු 2.30 පමණ නියෝගයක් නිකුත් කල එල්ටීටීඊ ත්‍රස්තවාදීන් නැගෙනහිර පලාතේ සියලුම පොලිස් ස්ථාන වලින් ඉවත්වන ලෙසට හෝ භයානක ප්‍රතිඵල වලට මුහුණ දීමට සූදානම් වන ලෙසට ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් හට දැනුම් දුන්නේය.

එවකට පොලිස්පතිවරයා වූ අර්න්ස්ට් පෙරේරා මහතා විසින් එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සහ එවක විදේශ අමාත්‍ය අබ්දුල් ශාහුල් හමීඩ් මහතා ගේ උපදෙස් අනුව අයුධ බිම තබා යටත් වන ලෙසටත්, ආරක්ෂාව සහිතව නැගෙනහිර පලාතෙන් පිටවීමට කටයුතු සැපයීමට එල්ටීටීඊ සංවිධානය පොරොන්දු වී ඇති බවද නැගෙනහිර පලාතේ සියලුම පොලිස් ස්ථානයන් වෙත දැනුම් දෙන ලදී.

එ සමගම නිරායුද සිංහල පොලිස් නිලධාරීන් යුද හමුදා හෝ ගුවන් හමුදා කදවුරු වෙතටත්, නිරායුද දෙමළ සහ මුස්ලිම් පොලිස් නිලධාරීන් නැගෙනහිර පලාතෙ පාසල් වල නවත්වන ලදී. එසේ නැගෙනහිර පලාතේ පොලිස් නිලධාරීන් සිය ඉහල නියෝගයට අනුගත වද්දි එක්වරම එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් නිරායුදව සිටි පොලිස් නිලධාරීන් 899 දෙනෙකු පැහැර ගත් අතර, ඉන් 125 දෙනෙකු කෙසේ හෝ බේරී පලායාමට සමත් විය.

පැහැරගත් නිරායුද පොලිස් නිලධාරීන් විනයාගපුරම් සහ ත්‍රීකුණාමලය ආශ්‍රිත වනාන්තර තුලට රැගෙන ගිය එල්ටීටීඊ ත්‍රස්තවාදීන් , ඔවුන් සියල්ලෝම පිටිතල හයා බැඳ එක පෙලට සිටුවා පිටුපසින් හිසට වෙඩි තබා ඝාතනය කරන ලදී.

මියගිය පොලිස් නිලධාරීන් ගණන 600 ත් 774 ත් අතර සංඛ්‍යාවක් විය.

කෙසේ නමුත් ත්‍රස්තවාදීන් ගේ මෙම නියෝගයට අනුගත වීම අනතුරකට අත්වැනීමක් බව පවසා එය ප්‍රතික්ෂේප කල නිලධාරීන් පිරිසක් සිටියේය. ඒ කල්මුණේ පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ නිලධාරීන් පිරිසය.

"යටත් වුනොත් අනිවාර්යයෙන් එක්කො මරණවා නැත්නම් දස වධ දෙනවා...මේක උඟුලක්"

මෙසේ පැවසූ ඔවුන් විසින් පස්වරු තුනේ සිට හය වනතුරු එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමඟ සටන් කරමින් පොලිස් ස්ථානය ත්‍රස්තවාදීන් අතට අත්පත් නොවීමට වග බලාගෙන සිටිය අතර.

සන්නිවේදන උපකරණ මගින්

"තවඳුරටත් අල්ලගෙන ඉන්න අමාරුයි....අපට වහාම ගුවන් හමුදා සහය සහ රොකට් ප්‍රහාර අවශ්‍යයි....ඕවර්"

යනුවෙන් උදව් ඉල්ලා සිටියේ එම අවස්ථාවේ කල්මුණේ පොලිසියේ ස්ථානාධිපතිවරයා වූ සහකාර පොලිස් අධිකාරි අයිවන් බොතේජු මහතාය.

ඔහුගේ උදව් ඉල්ලා සිදු කල ඉල්ලීම වහාම නිෂ්ප්‍රභ කල අතර. සුලු මොහොතකට පසු පෞද්ගලිකවම අයිවන් බොතේජු ඇමතු පොලිස්පතිවරයා වූ අර්න්ස්ට් පෙරේරා මහතා විසින් ඔහුට ආයුධ බිම තබා යටත් වන ලෙසට දැනුම් දෙනු ලැබීය.

ඒ සමඟම කල්මුණේ පොලිසිය සහ කොලඹ අතර පණිවිඩ හුවමාරුව බිඳවැටුණු අතර. පසුව දැනගන්නට ලැබුණේ අයිවන් බොතේජු මහතා සහ නිලධාරීන් පිරිස තිරුක්කෝවිල් කැලයට ගෙන ගිය ත්‍රස්තවාදීන් ඔවුන් වෙඩි තබා ඝාතනය කල බවය.

පසුව තිරුක්කෝවිල් වනාන්තරය තුල තිබී සිංහල සහ මුස්ලිම් පොලිස් නිලධාරීන් 324 දෙනෙකු ඝාතනය කල බවට වාර්තා විය.

රජය සහ එල්ටීටීඊ සංවිධානය අතර සටන් විරාමයක් සහ සාම සාකච්ඡා පැවැති කාලය අතර තුර සිදු වූ මෙම ම්ලේච්ඡ ක්‍රියාදාමය සිදු වෙද්දී එල්ටීටීඊ සංවිධානයේ සන්නිවේදන අංශයේ ජූඩ් නැමැත්තා සහ සන්නද්ධ අංශයේ කාඩරයන් දෙනෙකු සිටියේ කොලඹ හිල්ටන් හෝටලයේය. නැගෙනහිර සිදුවීම කොලඹ ට වාර්තා වු වහාම හිල්ටන් හෝටලයේ සිටි ත්‍රස්තවාදී සාමජිකයන් තිදෙනා විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යටතේ කලුතර කඳවුරට ගෙන ගිය අතර. දින කීපයකට පසුව ගුවන් මගින් ඔවුන්ව එල්ටීටීඊ පාලන ප්‍රදේශයට කිසිදු හානියකින් තොරව ආපසු අරලවන ලදී.

මේජර් ජනරාල් සරත් මුණසිංහ මහතා විසින් රචිත "A Soldiers Version " පොතෙහි මෙසේද සදහන් වෙයි.

එනම් නැගෙනහිර පලාතේ නිරායුද පොලිස් නිලධාරීන් අමානුෂික ලෙස ඝාතනය කරන අවස්ථාවේ කොලඹ හිල්ටන් හෝටලයේ සිටි ජූඩ් නැමැති ත්‍රස්තවාදී සාමාජිකයා හට , එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ගෙන් පණිවුඩයක් ලද බවත් එම පණිවිඩය වූයේ

"මොන දේ සිද්ද උනත්, ලැබුණ සල්ලි ටික ,ආපහු එද්දි අරගෙන එන ලෙසත්ය"
("Whatever happens, ensure that the money offered is brought with you")

ත්‍රස්තවාදීන් පරාජය කොට දශකයක් ඉක්ම යන මොහොතක අයිවන් බොතේජුලා ගැන කුඩා හෝ සටහනක් කොතැනක හෝ මතු වේනම්,

එය ඔවුනට උපහාරයක් ම වේවා...!!!

කුෂාන් ප්‍රේමසිරි
18/05/2020

No comments:

Post a Comment