Tuesday, October 30, 2018

අපේ ජීවිත

පුතේ,, මේ කොස් ඇට ටිකක් තලලා දෙන්න.. අම්මා කියද්දි මුඩ්ඩ තියෙන පොල් ගෙඩියකුත් අර ගෙන අම්මා ලගින් වාඩි වෙන්නේ කොස් ඇට තලන්නම නෙමෙයි.. අම්මා කොස් සුද්ද කරන වෙලාවට අමුවෙන් කොස් මදුලු ටිකක් කන්න තියෙන ආසාවට.. පොල් ගෙඩියෙ මුඩ්ඩ පැත්තෙන් අල්ලා ගෙන කොස් ඇට වලට තඩි බාන කොට වැඩි හරියක් කොස් ඇට විසි වෙලා යනවා. හෙමිහිට ලමයෝ ඔහොම හය්යෙන් තලන්න එපා කියලා අම්මා කොස් ඇට ටිකක් තලලා දෙන්න් පොල් ගෙඩිය අතට ගත්තහම කරන්නේ අමුවෙන් කොස් මදුලු කන එක.. ඒ ගමන අමුවෙන් කොස් කන්න ගත්තද. අම්මා කියන්නේ නුරුස්සන විදියට.. කන්න එපා අමුවෙන් කොස් කන්න හොද නෑ.. බඩේ අමාරුව හැදෙයි.. අම්මා එහෙම කිව්වට අමුවෙන් කොස් කන එකට අම්මා තදින්ම විරුද්ද උනේ නෑ..



ඒ දවස් වල කොස් කාලේට දවස් දෙක තුනකට සැරයක් හැමදාම අපේ ගෙදර ලිපේ කොස් ඉදුනා.. කොස් ගෙඩිය කඩා ගෙන එන්නේ තාත්තා.. ඒ වගේම ඒක පොරෙවෙන් හතරට පලලා තීරු කරලා දෙන්නෙත් එයාම තමයි.. කොස් ඇට කැපෙන්නේ නැතුව ඒ වැඩේ කරලා දෙන්න තාත්තට තිබුනේ පුදුම පලපුරුද්දක්.. කොච්චර ආස උනත් මට ඒක කවදාවත් කරන්න බැරි උනා.. අය්යයි අක්කයි මමයි අම්මයි එකතු වෙලා එකට ඉදගෙන කොස් සුද්ද කරන්නේ ඊට පස්සේ.. එහෙමෙ පවුලේ හැමෝම එකතු වෙලා හදන කොස් මාලුව රෑට වැඩිය රස උදේට කනකොට.. ඒ කාලේ ඇත්තටම හරිම සුන්දරයි..



ඒත් දැන් හැමදේම වෙනස් වෙලා.. අය්යයි අක්කයි මමයි අපි තුන් දෙනා තැන් තුනක.. අම්ම බණ පොතටම සීමා වෙලා.. තාත්තට තනියෙන් කොස් ගෙඩියක් කඩා ගෙන ඇවිත් හදන්න තරම් උවමනාවක් නෑ.. අපේ ජීවිත දැන් තරමටම ඒ කාලේ සංකීර්ණ නෑ..මොනවා හරි දෙයක් හදා ගෙන කාලා පව්ලෙ කට්ටයම එක්ක චිමිනි ලාම්පුවෙ එලියෙන් ජීවත් උනු කාලෙට මම අදත් හරිම ආදරෙයි.. මම අදත් නිදහසක් ලැබුනු හැම වෙලාවෙම ඒ අතීත් මතක එක්ක පොර බදනවා. අපේ අම්මටයි තාත්තයි හීන තිබුනා.. අපි ඒවා හැබෑ කලා.. ඒත් හීන හැබෑ වෙනවත් එක්කම අපිට අපි මග ඇරිලා අම්මේ.. ආය පව්ලේ ඔක්කොම එක්ක එක්ක එකතු වෙලා කොස් මාලුවක් හදා ගෙන කන එක දැන් මගේ එකම හීනෙ වෙලා අම්මේ .

No comments:

Post a Comment