Tuesday, October 30, 2018

" දේ ඩෝන්ට් ඉස්පීක් ගුඩ් ඉන්ග්ලිෂ් නො , අයි ඇම් දෙයර් ඉන්ටප්‍රිටර්"



"සුභ සන්ද්‍යාවක් වේවා නෝනාවරුනි මහත්වරුනි, තව ස්වල්ප වෙලාවකින් අප ලන්ඩන් හීත්‍රෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබසිනවා ඇත. පිටත උෂ්ණත්වය සෙල්සියස් අංශක 12ක් වන අතර වෙලාව පස්වරු 1 පසුවී මිනිත්තු 32කි. සියලුම මගින් ආගමන විගමන නිලධාරීන් වෙත වාර්තා කිරීම අනිවාර්ය වන අතර, නැවත වරක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමග පියාසර කල ඔබට ආයුබෝවන්" මම කපිතාන් දෙහෙරගොඩ සමග කාර්යමණ්ඩලය.

ඔන්න ඔය ආකාරයට පැය 19ක දීර්ග ගුවන් ගමනකින් පස්සේ අපි ගමනාන්තයට කිට්ටු කලා.

මේ වෙනකොට රට යන්න තිබ්බ ආසාව උනන්දුව අපි දෙන්නගෙම හිත්වලින් අයින් වෙලා ඒ වෙනුවට අපහු ලංකාවට දුවල යන්න තරම් අපිට අපේ අම්මා තාත්තා, පව්ලේ උදවිය කොටින්ම ගෙදර බල්ලෝ පුසෝ පවා අපිට අම්බානකට මිස් වෙලා තිබුනේ. පළවෙනි වතාවට එහෙම හැමෝටම දැනෙනවා කියලා පස්සේ කාලෙක අපි ඉගන ගත්තා. කොහොමින් කොහොම හරි "කල්ප" උන්නැහේ තමන්ගේ ලෙවල් එක අපිට පෙන්නලා අපේ ලොක්ක උනා. උනා කිව්වට ඌම එකට පත්වුණා, ගෙවල් දොරවල් ගැන හිත හිතා හිතින් වැළපුණු අපිව ඌට පෙනුනේ ගොබිලෝ දෙන්නෙක් ගානට.

බොහොම ප්‍රසිද්ද කතාවක් තමයි හීත්‍රෝ හි ආගමන නිලධාරීන් දකුණුආසියානුවන් කෙරෙහි දක්වන අප්පිරියාව, අපි ගියේ ශිෂ්‍ය වීසා නිසා උන් අපිව අපහු හරවන්න අහන්න පුළුවන් ප්‍රශ්න ගහන්න පුළුවන් ගැට සේරම ගහනවා කියල අපි දැනගෙන හිටියා. ඔන්න ඔතනදි තමයි අපි මී හරක් බානක් වගේ පලවෙනි මරු වැල පාගන්නේ.

එක පාරටම කල්පයා කියපි,

" ගායිස් ලෙස්ට් ගෝ ටුගෙදර් ඇස් එ ගෘප්, බිකොස් වී ආර් ගොයින් ටු සේම් යුනිවර්සිටි නො, අනික මට සින්ගපෝ ඉමිග්‍රේෂන් එකත් එක්ක එක්ස්පිරියන්ස් තීනවා යු නො"

එහෙම කිව්වා මිනිහා ඉස්සර උනා. පිනි ජම්බු ගෙඩියක් තරම් තඩි නහයක් තියන මහා භයානක උස මහත සුද්දෙක් අපිට අතින් සන් කල ,කන් කඩා හැලුන බල්ලෝ ගානට අපිත් උගේ කවුන්ටරේ ලඟට කිට්ටුකළා. කල්පයා ඉස්සර වෙලාම ලියකියවිලි ටික දුන්නා. විනාඩි පහක් විතර උගෙන් එක එක එව්වා අහපු සුද්දා ඇගිලි සලකුණු අරන් " දඩස් " ගාල සීල් එක ගැහුවා.

"නෙක්ස්ට්"

සුපුනා උගේ ෆයිල් එකත් අරන් කවුන්ටරේ ඉස්සරහට ගියා. මෙවෙලේ තමයි සුද්ද දැක්කේ කල්පයා තාමත් එතැන් හිටන් ඉන්නවා කියල .

"සර් යු මස්ට් ලිව් නව් ඇන්ඩ් ප්‍රොසිඩ් ටු ද කස්ටම්ස් ෆො බැගේජ් ක්ලියරන්ස් "

සුද්දා කේන්තියෙන් කිව්වා.

මෙන්න මෙතැනදී මේ ගොන් බුරු හිකනලා කියපු කතාවක් නිසා කොහේදෝ මුල්ලකින් මතුවුණ පොලිස් නිලදාරීන් දෙදෙනෙක් එකම වචනයක් වත් නිදහසට කියන්න නොදී , නිකන් එලිසබෙත් රැජිනට විවාහ යෝජනවක් කරපු උන් දෙන්නෙක් අල්ලන් යනවා වගේ මාවයි සුපුනවයි පොඩි පහේ හෝල් එකකට එක්කගෙන ගියා. එතන නොයෙකුත් ප්‍රශ්න නිසා බ්‍රිතාන්‍යට ඇතුල්වීම ප්‍රතික්ෂේප කල මිනිසුන් පණහක ට වැඩි පිරිසක් හිට්යා. ගොඩ දෙනෙක් බිම නිදි.

" පර බල්ලා , ඕකගේ $#$#% %%$ ....මන් තොට කිව්වා ඔය #%@# නිසා අපිට කෙලවෙනවා කියල හු#$2 මුන් අපිව හරවල යැව්වොත් මොකද කරන්නේ ? " අපි දෙනාගේම රතු කට්ට පුපුරලා ගියා.

වාසනාවකට වගේ කාසි දාන දුරකතනයක් තිබුන නිසාත් දහ අතේ කන්නලව් කොට එක් කරුණාවන්ත නිලදරුවෙකු ලවා මාරු කාසි කිහිපයක් සොයා ගත් අපි , හදිසියකදී දැනුම් දෙන්න යැයි අපහට දී තිබු අංකයට අමතා සියල්ල විස්තර කලා.

" ඩෝන්ට් බි පැනික් , වී විල් බි දෙයර් විත් ඉන් තර්ටි මිනිට්ස්."

අපිට තිබුන අවසන් සහ එකම පිහිට ඒ දුරකථන ඇමතුම විතරයි , ඒ තුරුම්පුවත් මෙසේ උඩට ගහල දාපු අපි බලාගෙන හිටියා. පැයකට පස්සේ එකෙක් ඇවිල්ල අපේ නම් අඩ ගැහුවා. එතනින් තවත් කාමරේකට. ඊට පස්සේ පැය දෙකක් විතර උන් අපෙන් හාර හාර ප්‍රශ්න ඇහුවා. කොටින්ම අපි ඉගන ගත්ත විෂයන්වල කරුණු පවා උන් අපෙන් ඇහුවා. තවත් පැයකට පස්සේ උන් අපිව එලියට දාද්දි අපි "කල්ප" ගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කරලා මතක වස්ත්‍ර පුජ කරලා , තුන් මාසේ දානෙත් දීලා සමස්ත යුරෝපෙම ජනතාවට සාප කර කර එලියට බැස්සා.

"ලොස්ට් ඇන්ඩ් ෆවුන්ඩ්" කියලා ගහපු කවුන්ටරයක් ඉස්සරහ අපි දෙන්නගේ දුප්පත් බැග් දෙක එක උඩ එක ගොඩ ගහල තිබුණා.

"කල්ප" මැතිතුමා පේන මානෙක නෑ , අපිව එක්කන් යන්න ගුවන් තොටට එවපු වාහනෙන් ඌ උගේ ලට්ට ලොට්ට පටවන් ගිහින් තිබුණා. අන්තිමට අපි අතින් පවුම් 75ක් ගෙවල කුලී රථයක් අරන් අදාළ ස්ථානයට එනකොට රාත්‍රී 9ට විතර ඇති. නේවාසිකාගාරයේ කාර්යාලය වහලා. මුරකාර සුද්දා කිව්ව විදියට අපි ගමන් මලු ලොබියේ මුල්ලක තියලා බඩට මොනා හරි දාගන්න කියල එලියට බැස්සා .

ඒ වෙද්දී අපි මානසිකව වැටිලා දණහිස් පවා තුවාල වෙලා තිබුනේ. කොටින්ම අම්මල ගොඩක් ආසාවෙන් අපේ මලු වලට ඔබපු සේරම අපේ ගමන් මලු පරික්ෂා කරපු සුද්දෝ ඉස්සරහ අපි අපේ කැමැත්තෙන් කුණු කුඩේට දැන්මා , අපිට උන්ගේ එක ප්‍රශ්නෙකට වත් උත්තර දෙන්න උවමනාවක් , හිතක් තිබ්බේ නැහැ, ඒ මානසික පීඩනය අපිට නොමිලේම දුන්නේ දවස් කීපයකට කලින් අහම්බෙන් මුණ ගැහුන , අපි ජිවිතේට නොදන්නා මිනිහෙක් ගෙන් කියල හිතුනම අපිට ඇත්තටම කඳුළු ආවා. දුකට නෙමෙයි කේන්තිය දරා ගන්න බැරි කමට.

ඌ අර සුද්ද ඌට යන්න කිව්වම කට උල් කරලා ඇස් නලවල කිව්වේ

" දේ ඩෝන්ට් ඉස්පීක් ගුඩ් ඉන්ග්ලිෂ් නො , අයි ඇම් දෙයර් ඉන්ටප්‍රිටර්"



මතු සම්බන්දයි

No comments:

Post a Comment