Tuesday, October 30, 2018

කුලරත්න මාමා



"මල් ශාලාව ට බොඩි එක ගෙනල්ල... පව්ලේ කාට හරි ඇවිල්ලා පෙට්ටිය බලලා, එම්බාම් එක ගැන කතා බහ කරගන්නලු"

"කව්ද යවන්නෙ මේ වෙලේ?"

" කාව හරි , කෙරෙන්න ඕන විදිය කියලා,බජට් ලිමිට් එකත් කියලා යවන්න... මතක ඇතුව"

අවසානයේ මියගිය අයගේ සහෝදරයකුගේ පුත්‍රයා ඔහුගේ මිතුරකු, මම සහ අවුරුදු හැත්තෑවක් පමණ වූ බයාදු පෙනුමකින් යුත්...බමන මතින් බඹර පදම් වූ පුද්ගලයකුත් මොටෝ රියක ගොඩවී මල් ශාලාව කරා ගමන් කෙලෙමු.

මල්ශාලා තුලදී එම්බාම් කරු, හර්ස් රියැදුරු , සහයකයින් සහ අරක්කු අතර ඇත්තේ පුදුමාකාර බැදීමකි. අප යන විට මෘතදේහය එම්බාම් කාමරයේ කොන්ක්‍රීට් ලෑල්ලේ නිරුවතින් තැන්පත් කර තිබූ අතර, අරක්කු බෝතල දෙකක් වටා වාඩී වී සිටි පිරිස සූදානම් වෙමින් සිටියේ මිනියේ කටයුතු අවසන් කිරීමටය.මෙ අතරෙහි මා අසලට පැමිණි අප සමග ආ වයසක පුද්ගලයා

"මහත්තයෝ... මට රුපියල් තුන්සීයක් දෙන්නකෝ"

"ඒ මොකටද?"

"අරක්කු පොඩ්ඩක් බොන්න මහත්තය "

"දැන් බීලා නේ ඉන්නෙ ඔය මදෑ?"

"එලිවෙනකන් ඉන්නත් එපෑ මහත්තය ...තව ටිකකින් වානවනේ"

"අම්මපා නේන්නම්... යං දෙන්නා එක්කම...."

....පැයකට පමණ පසු....

ඔහු නමින් කුලරත්න ය.... කුලී වැඩ කරන්නෙකි... මහ පොලවටම දිය වූ සිරුරත්, ගිලුණු දෑසත්, කඩමාලු වු ඇදුමුත් මට කියා පෑවේ වෙනස්ම කතාවකි.

"මහත්තයෝ... ඔය නැති උන නෝනා මහත්තයා.... මං ඉස්සර කුලියට පොල් කඩන කාලේ... කුලී වැඩ කර්න කාලේ... "

"හා හා.... ඔව්වා දැන් වැඩක් නෑ..
මාමා... අපි කාටත් ඕක යන්නම ඕන ගමනක්"

"අහන්නකො මහත්තය .... ඔය මනුස්සයා මට සල්ලි දීලා... මල්ලකට හාල් සේරුවක් දෙකක්... පොල් ගෙඩියක් දාලා දෙන්න අමතක කලේ නෑ ... අම්මපා එහෙම ගුණ යහපත් මනුස්සයා ....."

හෙතෙම කදුලු වගුරයි..මේ මොන මගුලක්දැයි සිතූ මා ඔහු මග හැර... අනික් දෙදෙනා සමග අවමංගල්‍යය රථය පසු පසින් නිවෙසට ලගා වූ අතර..

මග දෙපස නානාප්‍රකාර සමාගම්, ආයතන, ආදියෙහි බැනර ගසා , කල්ලි ගැසුන මිනිසුන් කතා බස කරමින් සිටියදී.. මල ගිය අයගේ ගුණ වගුරුවති, බදා ගනිති, සෝකය පල කරති,තවකෙක් බුලත් සපති.ඕමි ගසති.... පිරිසක් මැද තවකෙක් රස කතා වගුරුවති....

රාත්‍රි ආහාරයෙන් පසු එකා දෙන්නා හීන් සැරේම මාරු වෙති... අවසානයෙහි මැදියම් රෑ එක දෙක වන විට ඉතුරු ඌයේ අප දහ දොලොස් දෙනෙකි. තේ කෝප්පයක අවශ්‍යතාව දැනුන හෙයින් සාලයෙන් ගෙට ඇතුලු වූ මාහට දක්නට් ලැබුනේ...

ලොකු ලොක්කන් විසින් සොව පල කර එවා තිබූ මල්වඩම් මැදි කරගත් මෘතදේහය සහ... එහි හිස අද්දර සිට ගනිමින් පවන් සලමින් පොල්තෙල් පහනට පොල්තෙල් දමමින් සිටි කුලරත්න මාමාය... ඉන්පසු එලබුන දින දෙකහිදී.... ඔහු මධ්‍යම රාත්‍රියේ කොහේ හෝ සිට මතුවන අතර... පෙට්ටිය ලගින් ඉවත්වන්නෙ... උදේ හයට පමණය...

"මාමා ඇයි නිදිවරන්නේ?"

"මහත්තයෝ... මගෙ ගෑනී පොඩි එකී හම්බු වෙන්න ඉස්පිරිතාලෙ නතර වෙලා උන්න දවස් දෙකේ ලොකු එකා බලා ගත්තා උදේ වරුවක මේ නෝනා...එහෙව් එකේ තනි කරලා කොහොමද?"

මිතුරු තොමෝ සැප දුක දෙකෙහිම පවතී.... බිතුසිතුවම් රූ මෙන් පිටු නොපා සිටී..

1 comment:

  1. අද හරි වෙනස් බං මේ වගේ උදවිය හරි අඩුයි.

    ඉස්සර සල්ලි වලට වඩා මිනිස්සු හම්බ කරා... අපේ තාත්ත නැති උන වෙලාවෙ මං ඒ දේ අත්දැක්ක.

    පිටගංකාරයො උන අපිට කරන්න දෙයක් ගමේ උදවිය ඉතිරි කළේ නැහැ, සමහර මිනිස්සුන්ට උදව් පදව්ම නෙමෙයි, දැක්ක තැන හිනා වෙලා කතා කරන එක වචනයක් ඒ අයට කොයිතරම් වටිනවද අගය කරනවද කියල තේරැන.

    අද අපි හම්බ කරන්නෙ සල්ලි විතරයි, මළ දවසට හතරකොන අල්ලන්නත් කට්ටිය නෑ !

    ReplyDelete