Tuesday, October 30, 2018

නාකිච්චී



" වෛද්‍ය කපිල කුමාර මහතා මුණගැසීමට පැමිණි රෝගීන් කරුණාකර කාමර අංක විසි හත වෙත පැමිණෙන්න"

යනුවෙන් තාලයකට කියැවූ නිවේදනය මා හට ඇසුනේ අගනුවරට නුදුරු පුද්ගලික රෝහලක එක්ස් රේ කාමරය ඉදිරිපිට වාඩි වී සිටියදීය. ශ්‍රී ලංකාව ක්ෂය රෝගය(tuberculosis)නිවාරණය කරන ලද රටක් වූවත් සමහර යුරෝපීය රටවල් තුලට ඇතුලු වීමෙදී වෛද්‍ය වාර්තාවක් මගින් හෝ ගුවන්තොටුපොල තුල සිදුකරන වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම මගින් ක්ෂය රෝගයෙන් තොර වූවකු බව පෙන්වීම අනිවාර්යය කටයුත්තකි. ඒ අතින් බලන කල ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය සේවය සුවිසල් මෙහෙයක් ඉටු කර ඇත. ඔලුව උදුම්මවාගත් ඉන්දියානුවන් , පාකිස්තානු මෙන්ම සට කපට බංගලියන් මෙන්ම අප්‍රිකානුවන් වෛද්‍ය පරීකශනය සදහා පෝලිම් ගස්සවා ගෙනයන අයුරු දකින විට උන්ට පෙනෙන්නට නිදහසේ ඇවිදයාමම ඉතාම ප්‍රීති ජනක කටයුත්තකි.

විසි හතේ කාමරය මා ඉදිරි පසින් වූ බැවින් ඒ වෙත පැමිණෙන රෝගීන් සහ පවුල් වල උදවිය කෙරෙහි ඇස් කන් යොමා සිටි මට දකින්නට ලැබුනේ ඉතාමත් ආදරණීය දසුනකි. වයස අවුරුදු අනූවක් පමණ වු අම්මා කෙනෙකු මැදි කර ගත් මැදිවියෙහි වූ මහත්මයෙකුත් ඉතා ලාබාල පෙනුමැති ඔහුගේ බිරිද බවට සිතිය හැකි කාන්තාවකුත් කුඩා දරුවන් දෙදෙනෙක් සමගින් ඉතාම පරිස්සමට සිය මව දෑතින් අල්ලා සෙමින් සෙමින් පැමිණ රෝගීන් සදහා වූ කොටසේ වූ අසුනක වාඩි කරවීය.

බැලූ බැල්මට විධායක ශේණියේ මහත්මයකු වූ පිරිමි පුද්ගලයා සිය මව කෙරෙහි දැඩි ආදරයකින් මෙන්ම කැපවීමකින් යුතු දරුවෙක් බවත් , පුහු සමාජ ආටෝපයට නොව අවංක මාතෲ ස්නේහනයක් ඔහු ඇති බවක් පෙනෙන්නට තිබු නමුත් එම දසුනෙහි කිසියම් අමුත්තක් නොදැනුනාද නොවේ. අලේපන තට්ටුවට යට වූ ඔහුගේ බිරින්දා ගේ මුහුනෙහි කිසිදු හැගීමක් පල නොවූ නමුත් , ඇය සියල්ලන්ගේම අවධානය යොමුවෙන පරිදි කටයුතු කරන බවක් නම් පෙනෙන්නට තිබුනි.

මේ අතර වැඩිමහල් දරුවා සිය පියාගේ ජංගම දුරකතනය තුලට දැහැන් ගත වී සිටි අතර,අවුරුදු හයක් හෝ හතක් වූ බාලයා ඔබ මොබ දුව පනිමින් සිට එක් වරම සිය කිරි අම්මා සමීපයට ගොස්

"නාකිච්චී..... "

" නාකිච්චි. මුසලේ... මුසලේ... ඉක්මලට මැලියන් තෝ"

යනුවෙන් මහ හඩින් පැවසීමත් සමග මහත්තයා දැඩි අපහසුතාවකට පත් වූ නමුත් ...නෝනා කිසිවක් සිදු නොවු ලෙසට සිය දුරකථන තුලටම නෙත් යොමා සිටියේ කට කොණක තිබූ සිනහවක්ද සමගිනි. පොඩි එකා ගේ කට අති වසා ගත් මහත්මයා එසැනින් වාත වේගයෙන් කොරිඩෝරය දිගේ නොපෙනී ගියේ අත පය වාරු නැති අම්මාවද එතැන තනිකරමිනි.

මතු දිනෙක එම දෙපලට මීට සමාන හෝ වඩාත් දරුණු අත්දැකීමක් ඔවුන්ගේ දරුවන් විසින්ම උරුම කරදෙන බව නියතයක් නමුදු ... සමස්ත සමාජයක් වශයෙන් අප ගමන් කරමින් සිටිනා දිශාව පිලිබදව මා හට ඉමහත් සංවේගයක් ඇති වුනි.

1 comment:

  1. දැන් තාත්තාට ලැබී තියෙන්නෙ ටිකට් එකක් ඇදීමෙන් ලැබුණ "සල්ලි" වලට වඩා වටිනා තෑග්ගක් ලැබුන බව සිතමින් සතුටින් ඉන්නවා!

    ReplyDelete