Tuesday, October 30, 2018

නවත්තන්න එපා



ඉස්සෙල්ලාම මහපොලක් බලන්න ගියෙ තාත්තා ගේ අතේ එල්ලිලා 1993 දි, මහා ලොකු මතකයක් නැතත් හවස දෙකට විතර පාන් බාගෙ බස් එකක හිරවෙලා ගිහින් සර්ප විමානය, මාරක ලිද, මැඩ් ගෝ රවුම ,ජල විදුලි බලාගාර ආකෘති , හෙලිකොප්ටර් ඇන්ජිම වගේ දේවල් ජීවිතේ පලවෙනි වතාවට ඇහුවේ දැක්කෙ එදා...කොටින්ම හවස හයෙන් පස්සෙ ජීවිතේ පලමු වතාවට ගෙදරින් එලියෙ පරිසරය මොන වගේද කියන එකත් අත්වින්ද හැටි අද වාගේ මතකයි එන්න ලං උනාම අටෝ රාසියක් කඩපිල් අස්සෙන් මාව එක්කන් ගිය තාත්තා , තට්ටු දෙකේ පැන්සල් පෙට්ටියකුයි, අයිස්ක්‍රීම් ගොටුවකුයි, පුන්චි පහනක් යටින් පතතු කලාම පුටු පුටු ගාල යන රතු නිල් පාට ගාපු බෝට්ටුවකුයි ඇරන් දුන්න. ඒ ජීවිතේ සුන්දරම මතක කීපයෙන් එකක්.

පස්සෙන් පහු ඒ ඉස්කෝලෙටම හය වසරට ඇවිල්ල තවත් වසර හතරක් විතර ගිහින් 2001 වසරෙදි අවසාන මහපොල උත්සව කීපයෙන් එකක් අපේ ඉස්කෝලේ තියන්න සේරම සූදානම් කලා. අපි කාණ්ඩේ මහපොල බලන්න යනවා කියලා ලොකුම ගැම්මෙන් රංචු ගැහිලා හවස දෙකේ ඉදන් ඉස්කෝලේ පුරා රස්තියාදුව.

පරණ චිත්‍ර කාමරේ ඉස්ස්‍රහා ලොකු තිරයක් දාලා හවස හයේ ඉදලා එලිවෙනකන් ඉංගිරිසි ජනප්‍රිය චිත්‍රපට එක පෙලට. බ්ලොක්බස්ටර් වගේ... ගෙවල් වල උණ කෝටුවේ ගහපු ඇන්ටනාව... "හරිද....? "දැන්හරිද...." දැන් පේනවාද ?? " බෙරිහන් දිදී ටී වී බලාපු අපිට මේක ස්විප් එකක් ඇදුනා වගේ... ඒත් අපිට ඉංග්‍රීසි බෑ. ඇගකිලිපොලා යන ප්‍රේම ජවනිකා , බිහිසුණු සටන් දිහා අප්පුහාමිට ජපනා පාර කිව්ව වගේ කට ඇරන් බලන් ඉන්නවා..

ජොන් රැම්බෝ, ප්‍රෙඩේටර්, ටෝටල් රීකෝල්, ටර්මිනේටර් වගේ ක්‍රියාදාම සිත්තර පටි වගේම, ගෝඩ් මස්ට් බී ක්‍රේසි , ජිම් කැරී ගේ චිත්‍රපටි වගේ ඉල ඇදෙන කතන්දර, ටයිටැනික් , නොටින්ං හිල් වගේ රෝමෑන්ස් එව්වා ඉස්කෝලේ පිට්ටනියෙ ඉදගෙන කොල්ලො සෙට් එකක් එක්ක බලනවා කියන්නෙ ඊට වඩා මොනවද? ගෝඩ් මස්ට් බී ක්‍රේසි බලද්දි කලිසමේ චූ යනකන් හිනා වෙච්ච හැටි මතක් වෙද්දි ආයේ ඒ කාලෙට යන්න ඇත්නං කියලා හිතුනට... හියුබට් සර් චන්ද්‍රතිලක මිස් ගේ වේවැල මතක් වෙනකොට එක්කො ඕන නෑ කියලා හිතෙනවා.

අනික ඒකාලේ අපි අමද්‍යප දරුවො නිසාම ඒ මතක ජීවිතේ ආයේ කවදාවත් ලගා කර ගන්න බැරි දේවල් වෙලා ඉවරයි.

ඔන්න ඔය අකාරයට එලිවෙනකන් බයිස්කෝප් බලලා සංගීත සන්දර්ශනය තිබ්බ පිට්ටනියත් ටිකක් සී සාලා අපි සෙට් එක බස් නැවතුමට ආවේ ගෙවල් බලා යන්න. තවත් කට්ටියය බසයක් බලාපොරොත්තුව හිටියට මොකද බදුල්ල බස් එකක් ආවේ පැය බාගෙකට පස්සෙ. ඒකෙ ගොඩ වෙලා කොන්දොස්තර මහත්මයා ගෙන් ආඩපාලි අහගෙන බහින තැන පහු නොවෙන්න කොක්කු වගේ නැමිලා ඉස්සරහා වීදුරුවෙන් පාර බලන් එද්දි පිටිපස්සෙන් ඇහෙනවා ගාලගොට්ටියක්

" හරි ඕයි නිකන් යන්න ආවේ නෑනේ.. සල්ලි දීලනෙ යන්නෙ??"

" සල්ලි දීලා තමයි ඕයී ඒත් මේ හෝල්ට් දෙක තමුසෙට පයින් යන්න තිබ්බනේ...."

"එක්කො මාරු ගේනවා... පන්සීයක් දික් කලාම හරියනවද රුපියල් දහයක් ගන්න?"

කොන්දොස්තර උන්නැහේ එක්ක ඩෝප් කාරයෙක් පැටලිලා...

" ඇයි දැන් තමුසේලා බස් එක උඩින්ද අරන් යන්නෙ ?... නිකන් යනවා අයිස්සෙ යන්න.... මාරු නෑ කියන්නෙ ???"

"මුද...හුප් මුදලාලිට වංගු දාන කාලකණ්නි..... රුපියල් දායට අජරාමර වෙන්න එපා ඕයි...."

තවත් දෙන්න වාදේ දුරට ගියා. එක පාරටම බීපු මනුස්සයා බහින තැන කිට්ටු කරලා බෙල් එක ගැහුවට කොන්දොස්තර උන්නැහ කෑගහලා කිව්ව

"නවත්තන්න එපා.... "

@*$-%-=%=&&=&&=$*@*#*$*$***$-$*$*$*$*#*#*#*#*$*$*$**$*$*%%%7%7%777#7#$*@*@*#**#*#*$**#

වශයෙන් ජාතිය ජාතකේ අමතලා විසේස ප්‍රකාශයක් බීපු මනුස්සයා කලත් ඒ,වෙද්දි බස් එක තව හැතැක්ම බාගයක් විතර ඉස්සරහට ගිහින් ... මිනිහා බෙල් එක අත නොහැරම ගහනවා.... බැරිම තැන දියතලාවේ කෑම්ප් එකට යන ආමි කොල්ලෙක් ඉදිරිපත් වෙලා

" ඔන්න ඔහේ මේ මනුස්සයා බස්සලා යනවා... මේ මහ රෑ පව් වැඩ නොකර "

කියනකන් බස් එක ගියා... අන්තිමේ යන්තන් බස් එක නතර කලා... නතර කලා කීවට වේගය අඩුකලා... බීපු මනුස්සයත් බස් එකෙන් පැනලා බස් එක එක්කම අඩි කීපයක් ඉස්සරහාට දුවලා අදුරේ නොපෙනී ගිය තත්පරයට...

සල බලාං ගාලා පිටි පස්සෙ වීදුරුව බිදගෙන ඇවිත් තිබුනේ ලොකු ගඩොල් බාගයක්.

ගල් ගිල්ල වගේ එක පාරටම නැවතුන බස් එක තවත් පැය බාගයක් විතර වටේට හොයලා , කුනුහරුප කියලා පොලිසියට කතා කරලා සේරම කලත් ඒ මනුස්සයාගේ මයිල් ගහක් තරම අද වෙනකන් හොයා ගන්න බැරිඋනා... ඊට පස්සෙ මාස තුන හතරක් බදුල්ලෙන් කොලඹ යද්දි බස් එකේ පිටිපස්සෙ වීදුරුව ඉටිරෙදි වලින් වහලා තිබ්බ හැටි දැකපු අපි කතා උනේ..

ගං වාසිය... එහෙමත් නැත්නම් අනුන්ගේ කොටුවලට පැනලා ලොකුකම් කතා කරන්න ගියාම පාඩුව තමාටමයි කියලා.

No comments:

Post a Comment