Thursday, August 1, 2019

අතීතකාමය

අතීතකාමය
එදත් අද වගේම වැස්ස දවසක්, අහම්බයකින් වගේ ඒත් ජූනි මාසේ, පාන්දර හතරට විතර මාව ඇහැරවපු අම්මා මූණ හෝදගන්න වතුර ටිකක් යකඩ පනිට්ටුවකට දාල දුන්න. ඒ කාලේ අපේ ගෙදරට වතුර තිබ්බෙ නෑ. හැමදාම කලගෙඩි පහක් , යකඩ පනිට්ටු පුරවලා තමයි අම්මා දවස අහවර කරන්නෙ. වතුර ගේන්න කරාමේ තිබ්බෙ කන්ද පාමුල මීටර් දෙසීයක් විතර ඈතින්.
උදේම ලෑස්ති වෙලා තේ බීලා තාත්තයි මායි කෑලි තුනේ ටෝච් එලියෙන් පාරට එනවා. එන අතරමඟ තියන කම්බි පාලමෙන් මට තනියම යන්න බැරි නිසා සරම කැහැපට ගහගන්න තාත්තා මාව වඩාගෙන පාලමෙන් එගොඩ වෙනවා. තාත්තා ගේ අතේ ඉන්න මට දිරච්චි ලෑලි අතරෙන් ගඟ යාන්තමට පේනවා. කම්බි පාලමක් කියන්නෙ ගඟ හරහට ලොකු යකඩ කම්බි ඇඳලා ඒකේ අඩි දෙකෙන් දෙකේ පරතරයට ලැලි හයි කරලා. අත්වාරුවට තියෙන්නෙත් කම්බි දෙකක්. පාලම හදල තියෙන්නෙ සුද්දා ගේ කාලේ.
පාලමෙන් එගොඩ වෙච්ච හැටියම මාව බිමින් තියන තාත්තා අපි දෙන්නගෙම කකුල් වලට ටෝච් එක අල්ලලා කූඩැල්ලෝ එල්ලිලාදා කියල බලනවා. ඩහ් ඩහ් කියලා කකුල් පොලවට ගහලා සේරම තහවුරු කරගෙන අපි දෙන්නා බස් එකක් එනකන් බලං ඉන්නවා. ඒ කාලේ තිබ්බෙ පාන්බාගේ රෝසා බස්. බස් එකට ගොඩ උන හැටියේ ඉඩ තිබ්බේ නැත්නම් තාත්තා මාව සීට් දෙකක් අස්සට රිංගවනවා.එක දවසක් එහෙම මාව යැව්වම ඒ සීට් එකේ උන්න ගෑනු මනුස්සයාට කේන්ති ගිහිල්ලා , රත්නපුරේ ට එනකන් මගේ ඇඟ කෙනිත්තුවා, කකුලත් පෑගුවා.
බස් එකෙන් බැහැපු හැටිය එක විනාඩියට අපි දුවගෙන එන්නෙ සමූපකාර ඉස්පිරිතාලෙට බේත් ගන්න තුණ්ඩුවක් ගන්න. නොම්බර ඇරන් අපි ඉඳගෙන ඉන්නවා. මං වටපිට බලනවා ඈනුම් අරිනවා. දොස්තර මහත්තයා ඇවිල්ලා ලෙඩ,බලල බේත් නියම කරලා අපි එලියට බහිද්දි උදේ හය හමාරට විතර ඇති, ඒ ලඟම තිබ්බ කඩේකින් උදේට බනිස් කාල තේ බොන අපි දෙන්නා පයින්ම එනවා බෝධිරාජාරාමෙට. ඒ කාලේ එතන පරණ ගැරෙජ් එකක් තිබුණා. තාත්තා අදුරන හාමුදුරුවෝ නමක් වැඩ උන්න නිසාම මාව එතන නවත්තලා තාත්තා යනවා ගල් විකුණන්න , මං පරණ කාර් දිහා බලාගෙන එව්වා අස්සට ඔලුවදාලා එඹිකම් කරනවා. මට තේ එහෙමත් හම්බවෙනවා පන්සලෙන්.
නිවිතිගල ට ගිහිපු තාත්තා ආපහු එන්නෙ එකොලහට දොලහට කිට්ටු කරලා. ආපහු අපි එන්න පිටත් වෙනවා. මුලින්ම ජයසිරි හෝටලේට, එදා සරු දවසක් නං මට ෆලූඩා එකක් හම්බවෙනවා. නැත්නම් රෝල්ස් එකක්‍ එක්ක තේකක්. තාත්තා නම් කවදාවත් කනවා මට මතක නෑ. මං කන එක දිහා හිනාවෙවී බලාගෙන ඉන්නවා.
තේ බීලා ආව ගමන් තාත්තා ඒ ලඟම තිබ්බ ලොකු සාප්පුවක දොර අයිනේ පඩිපෙල ලඟින් මට ඉන්න කියනවා...
"මං මාළුව කන්න දෙයක් ඇරං එන්නම්, ඔතනම ඉන්න ඕන. "
තාත්තා අඩියට දෙකට දුවනවා. මං වාහන මිනිස්සු දිහා ඔලුව කහකහ බලන් ඉන්නවා. හැමදාම අඳින රතුපාට ටී සර්ට් එක යට කරල ඇඳපු කොලපාට කොට කලිසමත්, කලු පාට පුංචි බාටා සෙරෙප්පු දෙකත් දාගෙන ඉන්න මගේ පෙනුම කොහොමත් ඇහට ප්‍රියමනාප එකක් නම් නෙමෙයි.
"ඔතනින් අහකට යනවා"
මං ගැස්සිලා පියවි ලෝකේට එනවා. කඩේ මුදලාලි අලුත්ම කාරෙකෙන් කඩේ දොරකොඩම බැහැලා , අලුත්ම සූට් එක, සුදු පාට සෙරෙප්පු දෙක, ලොකු මුද්දක් බ්‍රේස්ලට් එකක් දාපු මුදලාලි හරි තේජස් පාටයි.
"එහාට යනවා ....යනවා යනවා...එහාට "
මුදලාලි මට කෑගහනවා ,මං ඉබේම කඩේ සීමාවෙන් එහාට ගිහින් බුලත් විට විකුණනන පොඩි බාර් එකලඟ හිට ගන්නව. මං දිහා බලලා තොහ් ගාලා කෙල පාරකුත් ගහන මුදලාලි කඩේ අස්සට යනවා.
කඩේ වීදුරු රාක්කෙ තිබ්බ ඉලක්කම් වැටෙන ඔරලෝසු ගැන සිහියෙන් උන්න මට ඒක එච්චර ගාණක් නැතුව යනවා,
"කොහොම හරි ඔරලෝසුවක් ගන්න ඕන"
ඊට සුමානෙකට කලින් ගෙදර බිත්ති ඔරලෝසුවේ බැටරි කෑල්ල ගලවලා බල්ප් පත්තු කරන්න ගිහින් තාත්තා ගෙන් හොඳාටම ගුටි කාපු එක මතක් වෙලා මට එක පාරටම හිනා යනවා. ඒ එක්කම ආපු තාත්තා මගේ කණ මිරිකනවා.
"ඉන්න කිව්ව තැන නොයිද කොහෙ යනවද?"
මං විස්තරේ කියනවා
"බොරු නොකියා ඉන්නවා..ඒ මිනිස්සු එහෙම කරන්නෙ නෑ... තමුසේ එලියේ බඩු මුට්ටු අතගාන්න යන්න ඇති"
තාත්තා එහෙම කියනවා... තාත්තාත් මුදලාලිගේ පැත්තේ. මං මූණ එල්ලගෙනම ඉන්නවා ගෙදර එනකන්, ඒත් බස් එකට නැඟපු රටකජු වෙලෙන්දගෙන් රුපියල් පහක කජු, තාත්තා අරන් දෙන නිසා මං ආයෙම සංතෝසෙන් වටපිට බල බලා එනවා.. ගෙදර ඇවිල්ලා මං ඉසෙල්ලාම කරනේ චිත්‍ර පොතෙන් කොලයක් කඩාගෙන මං දැක්ක ඔරලෝසුව ඒකෙ ඇඳල බිත්තියේ අලවන එක.
ඊට පස්සෙ මං කොට බංකුව උඩ වාඩිවෙලා නිකන් ඉන්න හැම වෙලේකම ඒ ඔරලෝසුව දිහා බලන් ඉන්නවා. ඊටත් මාස දෙකකට විතර පස්සෙ ඒ කඩේ ලඟින් ආයෙමත් යද්දි මං තාත්තා ට ඒ ඔරලෝසුව පෙන්නනවා.
" අද අතේ සල්ලි නෑ මහත්තයා..."
(( තාත්තා මට පොඩි කාලේ ඉඳන් කතා කලේ මහත්තයා කියලා. අදටත් රට ඉඳ්දි මං කෝල් කලාම
"ආ....මහත්තයා .... අද නිවාඩුද වැඩද...." කියලා තමයි තාත්තා කතාව පටන් ගන්නෙ. ))
තව ටිකක් වෙලා අපි දෙන්නා ඒ වීදුරු රාක්කෙ අස්සෙ තියන ඔරලෝසු ගොඩ දිහා බලන් ඉන්නවා.
"අපි පස්සෙ එකක් ගමු ,දැන් යං"
එදා ඉඳන් අද වෙනකන් මං ඔරලෝසු බැඳලා තියෙන්නෙ ජීවිතේට එක පාරයි, ඒකත් කසාඳ බඳින දවසේ මාධී අරන් දුන්න ටයිටන් ඔරලෝසුව. ඒ සේරම අතීත මතක විදියට අමතක කරලා මං බී ඇම් විජේසිංහ පොත් සාප්පුව ලඟ වාහනේ නතර කරලා එදා ඒ කඩේටම ගොඩ වෙනවා.
"සර් මොනවද බැලුවේ ?"
වයසට ගිහින් තරුණ කම , තේජාන්විත කම සේරම අනිත්‍ය වේ කියලා තේරුම් ගත්ත ඒ මුදලාලිම මගෙන් බොහොම කරුණාවෙන් ගෞරවාන්විත විදියට අහනවා..
" මේ කඩේ අයිනේ තාත්තා එනකං බලන් උන්න පොඩි එකෙක් හිටිය දැක්කෙ නැද්ද ?"
යටි හිතෙන් එහෙම අහන ගමන් මං උවමනා බඩු ටික අරන් කඩෙන් එලියට බහිනවා.
" ඇම්ස්ටර්ඩෑම් බලා යන එයා ෆ්‍රාන්ස් මගීන් කරුණාකර දොරටු අංක දහ අට වෙත පියනඟන්න "
අතීතකාමය එක්ක සිතුවිලි සාගරේක ගිලිලා ඉන්න මට ඒ නිවේදනය ඇහෙන්නෙ ප්‍රංශ ඌරුවට ඉංග්‍රීසි කතා කරන කාන්තාවකගේ හඬින්. ගමන් මල්ලත් පිටේ එල්ලගෙන මම නොම්බර දහ අට හොයාගෙන ඉස්සරහට යනවා.
කුෂාන් ප්‍රේමසිරි
ප්‍රංශයේ චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපලේ සිට

No comments:

Post a Comment