Tuesday, October 30, 2018

පෙට්‍රල් බීම



මේ කියන වකවානුව 2008 අවුරුද්ද. අපි බෝඩිම් ජීවිතේ පටං ගත් අලුත. බාගෙට හදලා පාලුවට ගිය ගේ වගේම බෝඩිමේ අංකලයත් අමුතුම මනුස්සයෙක් ,කොටින්ම නොම්මර එකේ ගොවියෙක් . බිම තියන බලු බෙට්ටත් කවදහරි ඕන වෙනවනේ කියලා මඩුවක දාල අරං තියන ජාතියේ මනුස්සයා. ඒ නිසාම බෝයිං 777 වර්ගයේ යානා දෙකක් කිසි කරදරයක් නැතුව එකලස් කරන්න පුලුවන් තරමට අටෝ රාසියක් උපකරණ ගේ අස්සේ ගොඩ ගහලා... අංකල් නාන්නෙත් අරපිරිමැස්මෙන් , වතුර බටේ ගහලා මිදුල පුරා ඇවිද ඇවිද නානවා... සබන් ගාලා ආයෙත් ඒ විදියටම ඇවිදිනවා වත්ත පුරා. ඇත්තටම ක්‍රමේ හරි. අපි ඕක කරන්න ගියොත් එක්කො අල්ලපු ගෙවල් වල උන් පොලිසියට ටෙලිෆොන් කරයි ,නැත්නම් ගස් බැදලා දෙකක් තඩි ගහයි.

ඔහොම කාලේ ගෙවිලා යද්දි අංකල් අපිට දුන්නා පරන හොන්ඩා ජෙනරේටරයක්

"පුලුවන් නම් නිකං ඉන්න වෙලේක ඕක හදලා දෙන්න,ලයිට් ගියාම පාවිච්චියට ගන්න පුලුවන් නේ"

" හා අංකල්, " කියලා අපිත් වැඩේ ට අත ගැහුවා. අපිට ඒ දවස් වල ඉදන්ම රොකට් එකක් උනත් කෑලි වලට ගලවන එක සිම්පල්. ඒත් හයි කරන්න අමාරුයි , හයි කලත් කෑලි ඉතුරු වෙනවා...ඉතින් මේ ආකරයට ජෙනිය අටවලා වැඩේ සාර්ථක විදියට ගොඩ දාල , ඉතුරු වෙච්ච පෙට්‍රල් බෝතලෙත් මේසයක් උඩින් තිබ්බා.

ඔය දවස් වල එකෙක් අපෙ මයිනා වගේ දණහිස ලගට එනකන් දිග බූට් එකක් කාල හිටියේ.. කොටින්ම එලෝ මෙලෝ සිහියක් තිබුනෙම නෑ ඌට. ඔහොම යන අතරේ රෑ එකොලහට විතර බෝඩිමට වැනි වැනි ආපූ මේකා ,අපි බලන් ඉද්දිම පෙට්‍රල් බෝතලේ අතට අරන් ,

"මම මැරෙනවා යකෝ"

" ඕක බීලා ගිනි පෙට්ටියක් කාපං"

"බීලා බයිසිකලේකට $ජ්ජ කරපං "

වගේ අපි ආඩපාලි කියද්දි මූ බිවවා නේද ගුඩුස් ගුඩුස් ග්ලබ්,ග්ලබ් ගාලා...

මුලදි විහිලුවට කියලා හිතුනත් සෙම දාගෙන කෙල පෙරාගෙන මූ බිම පෙරලෙද්දි අපිට හීං දාඩිය දැන්ම ,

"මොකද්ද බල්ලො මේ කරේ?"

"අමාරුද තොට" "

"උබට අමාරුද මචං "

"කතා කරපං මංච"

"චීත්තෙකට පණ නහගන්න මෝඩ $කයා"
වගේ අපි ඌව වත්තං කරං මේසෙ උඩ දිගා කරද්දි අල්ලපු කාමරේ එකා බාගෙට දොර ඇරලා

"ආ පෙට්‍රල් බීලා " කියලා අපෙන් අහලා දොරත් වහලා ලයිට් නිමලා ඇදට ගියා

ඔව් ...ඒ වගේ චරිත ඉන්නවා බෝඩිම් අස්සේ..

අපි දෙන්නෙක් වාහනයක් හොයන්න පාරට දිව්වා... වෙලාවට ආව ත්‍රීවිල් එක හරවගෙන ඌව පහලට ගෙනත් පටවන්න හදද්දිම

" මොනා වෙලාද මල්ලි අඩප්පරේ හැදිලා ද( මී මැස්මොරය)??"

" නෑ අයියේ පෙට්‍රල් බීලා"

" අඩෝ පටවන්න එපා ඕකා වාහනෙට, පොලිසි උසාවි ගානේ චාටර් වෙන්න බෑ මේවට " තප්පරයෙන් මිනිහා ආපහු ගියා, ආපහු පාරට දුවපු අපිට පිහිටට ආවේ අපි බත් ගන්න ගෙදර ඇන්ටී... ලග ගෙදරකින් ත්‍රීරෝද රථයක් අපිට දීලා තමන්ගේ මහත්තය ගේ මෝටර් බයිසිකලේත් අපිට දුන්නා .

ඌව ත්‍රීවිල් එකෙ දාගෙන මුලින්ම කොස්වත්තෙ ඉස්පිරිතාලෙ ට ගියත් එතනින් ජාතික රෝහලට යවල තිබුනා.. අපිත් ඒ පස්සෙන් ගියා. පරීක්ෂා කරපු දොස්තර මහත්මයා ඌට අමාරු නෑ කියලා කීවට පස්සේයි අපේ ඇගට ලේ ටිකක් ඉනුවේ. ඒ වගේම තරුණ දොස්තර මහත්තය ලස්සන දඩුවමකුත් ඌට දීලා තිබුනා

ඉගන ගන්න වෛද්‍ය සිසුන්ට කියලා මේ පෙට්‍රල් බීපු ලෙඩෙක් මෙයාගෙන් ඒ බීවම ඇතිවන ලක්ෂන ගැන ප්‍රශ්න කරන්න කියලා .... ඒ පිරිස අස්සේ බීපු එකාගේ නංගිත් ඉදලා... ඒ වගේම පොලිසියට සතියකට පාරක් ඉරිදාට ගිහින් අත්සන් කරන්නත් උනා..

ඒත් කතාවේ හොදම ටික උනේ, අපි ඌව ගොනාට අන්දලා පෙට්‍රල් පොවලා කියලා උගේ ප්‍රේමවන්තිය සේරම වරද අපේ ඇගට එවපු එක සහ බීපු මිනිහා ඒ සේරටම කට වහං හිටිය එක. ඔන්න ඕකයි පවුල් අවුල් වලට මැදිහත් වෙන උන්ගේ සදාතනික ඉරණම.

1 comment:

  1. උගේ කටට පරණ මේස් එකක් ඔබල ගිණිකූරක් ගහන්න තිබ්බනං ඇමෝනියා ඕනත් නෑ ප්‍රෙටලුත් නෑ 😁

    ReplyDelete